මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයා ත් අත්අඩංගුවට

බොරැල්ලේ අනතුර: මන්ත්‍රී මහින්දානන්දගේ පුත්‍රයාත් අත්අඩංගුවට

by Sagarika Chathumali 25-02-2019 | 10:52 AM
COLOMBO (News 1st) : බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, එම අනතුර සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ඔවුන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 4 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබී ය. අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ පොලිස් අධිකාරිවරයෙකුගේ 27 හැවිරිදි පුත්‍රයෙකු ද මෙන්ම එම ජීප් රථයේ හිමිකරු ද අත්අඩංගුවට ගත් සැකකරුවන්ට අයත් ය. එසේම මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම රථය සමග පැමිණි තවත් ජීප් රථයක හිමිකරු හා එහි ගමන් කළ 23 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වේ. බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් යමින් සිටියදී ඊයේ අලුයම 4 30 ට පමණ කොළඹ - ගාල්ල මාර්ගයේ ඩුප්ලි බුලස් හන්දියේදී අනතුර සිදුවිය. අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. https://www.youtube.com/watch?v=rMRhEX1iSBs