අලුගෝසු තනතුරට විදේශිකයෙක්...?

අලුගෝසු තනතුරට විදේශිකයෙක්...?

by Sagarika Chathumali 25-02-2019 | 7:14 AM
COLOMBO (News 1st) : මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අලුගෝසු තනතුර සඳහා විදේශීය ජාතිකයෙකු බඳවා ගැනීමට අවධානය යොමුවී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ, එම තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇති මුත්, ලැබී ඇති අයදුම්පත් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි. එම තත්ත්වය තුළ අලුගෝසු තනතුර සඳහා විදෙස් ජාතිකයෙකු බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මේ අතර අලුගෝසු තනතුර සඳහා අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ ය. ඔහු ප්‍රකාශ කළේ, අද දහවල් 12 වනතුරු ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව ජනවාරි 25 වනදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙනු ලැබී ය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ, නීතිපතිවරයාගේ නිර්දේශය සහිතව එම ලැයිස්තුව භාරදුන් බවයි. ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියම වී සිටින රැඳවියන් සංඛ්‍යාව 17කි. ශ්‍රී ලංකාව තුළ අවසන් වරට 1976 වසරේදී වැලිකඩ බන්ධනාගාරය තුළදී මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත්ත.