වෙනිසුවෙලානු විරෝධතාකරුවන්ට පොලීසියෙන් කඳුළු ගෑස්

වෙනිසුවෙලානු විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසියෙන් කඳුළු ගෑස්

by Staff writer 24-02-2019 | 12:30 PM

කොලොම්බියා දේශසීමාවේ විරෝධතාවල නිරත පිරිස් විසුරුවා හැරීමට වෙනිසුවෙලානු පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

විරෝධතා ක්‍රියාත්මක වන්නේ මානුෂීය ආධාර රැගත් කණ්ඩායම්වලට, රටට ඇතුළුවීමට අවසර දෙන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලමිනි. එහිදී පුද්ගලයින් 300 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. මානුෂීය ආධාර රැගත් කණ්ඩායම් රටට ඇතුළුවීම වැලැක්වීමේ අරමුණින් ජනපති නිකලොස් මාධූරෝ කොලොම්බියා සහ බ්‍රසීල දේශසීමා වසා දැමුවේ ය. එරට අන්තර්වාර ජනපති තමා යැයි ප්‍රකාශ කළ විපක්ෂ නායක ජුආන් ගුවයිඩෝ සිය රටට ආධාර ලබා දෙන්නැයි කළ ඉල්ලීමට අනූව ආධාර රැගත් කණ්ඩායම් මේ වන විට එරට දේශසීමා ආසන්නට පැමිණ තිබේ. පළමුව අමෙරිකානු ආධාර රැගත් කණ්ඩායමක් පැමිණි අතර බ්‍රසීල ආධාර රැගත් කණ්ඩායමක් ද මේ වන විට දේශසීමා ආසන්නේ රැඳී සිටින්නේ වෙනිසුවෙලාවට ඇතුළුවීමේ අපේක්ෂාවෙනි. එහෙත් ජනපති නිකලොස් මාධූරෝ සඳහන් කරන්නේ, ආධාර රැගත් කණ්ඩායම් බලහත්කාරයෙන් රටට ඇතුළුවීමට උත්සහා කළහොත් දෙරට අතර සබඳතා පළුදු විය හැකි බවයි. ආධාර රැගත් කණ්ඩායම් රටට ඇතුළු කර ගැනීම සඳහා සහාය දෙන්නැයි වෙනිසුවෙලානු විපක්ෂ නායක ජුආන් ගුවයිඩෝ සමාජ මාධ්‍ය ඔස්සේ ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර තිබුණි. මේ අතර විරෝධතාකරුවන් ඉලක්ක කර එරට හමුදා එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ඊයේ පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියහ.