Update : මෙරට විශාලතම හෙරොයින් තොගය කොල්ලුපිටියෙන් අල්ලයි

by Staff writer 24-02-2019 | 6:44 AM

COLOMBO (News 1st) - කොල්ලුපිටිය, සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලකින් රුපියල් මිලියන 2945 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් සොයාගත් එම හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490 ක්. එය මෙරටින් සොයාගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් 43 සහ 32 හැවිරිදි පානදුර කෙසෙල්වත්ත පදිංචිකරුවන්ය. මෙම වැටලීම පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද උදෑසන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේදී පැවැත් විය. එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, හෙරොයින් තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.