by Staff writer 24-02-2019 | 8:08 PM
සන්නද්ධ තුවක්කුකරුවකු බංග්ලාදේශයේ ඩකා සිට ඩුබායි බලා පියාසර කරමින් තිබූ බිමාන් බංග්ලාදේශ් ගුවන් සේවයට අයත් යානයක් පැහැර ගැනීමට ප්‍රයත්න දරා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, යානය පියාසර කරමින් තිබියදී , පිස්තෝලයක් අතින් ගත් පුද්ගලයකු තමාට බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරයාට කථා කිරීමට අවශ්‍ය බව පවසමින් යානයේ නියමුකුටිය වෙත ඇතුළුවීමට ප්‍රයත්න දරා ඇති බවයි.
මේ හමුවේ එම යානය යළි බංග්ලාදේශයේ චිතගොං හි හදිසියේ ගොඩබැස්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ, මේ වනවිට යානයේ සිටි මගීන් 142 ට ඉන් ආරක්ෂිතව පිටවීමට ඉඩ සලසා ඇති අතර පොලීසිය සහ හමුදාව යානයේ ආරක්ෂාවට යොදවා ඇති බවයි .
එම ගුවන් යානය චිතගොං හරහා ඩකා නුවර සිට ඩුබායි බලා යාමට නියමිතව තිබූ බව සඳහන් ය .
යානය පැහැරගැනීමට තැත්කළ පුද්ගලයා සහ බංග්ලාදේශ ආරක්ෂක අංශ අතර මේ වනවිට සන්නිවේදන කටයුතු සිදුකෙරෙන අතර එම ප්‍රයත්නයට හේතුව මෙතෙක් හෙළිවී නොමැත.
බලධාරීන් තත්ත්වය පාලනය කිරීමට ප්‍රයත්න දැරීම හේතුවෙන් චිතගොංහි ශා අමානාත් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව නතරකර තිබේ.