විශාලතම හොරොයින් තොගය රටට ආ හැටි හෙළිවෙයි

කොල්ලුපිටියේදී වැටලූ විශාලතම හොරොයින් තොගය රටට ආ හැටි හෙළිවෙයි

by Sagarika Chathumali 24-02-2019 | 5:31 PM
COLOMBO (News 1st) : කොල්ලුපිටියේදී සොයා ගැණුනු මෙරටින් හමුවු විශාලතම මත්ද්‍රව්‍ය තොගය මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන විත් ඇති බව පොලිස් විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ. පොලීසිය පැවසුවේ, පාකිස්ථානයෙන් සහ ඉරානයෙන් මෙරටට රැගෙන එන්නට ඇතැයි, තොරතුරු ලැබී ඇති බවයි. මෙය දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකික ජාවාරම්කරුවෙකු විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය දිවයිනට ගෙන්වා ඇති බව ද විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ජාවාරම සඳහා එම මත්ද්‍රව්‍ය ජවාරම්කරුට විදේශිකයින්ගේ සහය ලැබී ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය. මෙම හෙරොයින් තොගය සමග කොල්ලුපිටිය සුපිරි වෙළද සංකීර්ණයකදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස පළමු වනදා තෙක් රඳවා තබා ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අධිකරණය අද අවසර ලබා දුන්නේ ය. ඒ සැකකරුවන් කොටුව වැඩබලන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. පොලීසිය සඳහන් කළේ, සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාමක රුපියල් මිලියන තුන්දහස් පන්සිය තිස් තුනක් වන බවයි. කොල්ලුපිටිය, සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලකින් සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 294 යි ග්‍රෑම් 490කි.