වල් බිහි වූ මහපළුගස් වැවට V-Force බලකායෙන් නව ජීවයක්...

by Staff writer 23-02-2019 | 9:09 PM
COLOMBO (News 1st) - රට වෙනුවෙන් ගමට මෙහෙවරක් කරන්නට කැපව සිටින V-Force තරුණ නායකයෝ අද තවත් පියවරක් සනිටුහන් කළහ. ඒ, ලෝක උරුමයක් වන එල්ලංගා පද්ධතියට අයත් මහපළුගස් වැව පිරිසිදු කිරීමේ දැවැන්ත ක්‍රියාන්විතය අරඹමිනි. ගම්මැද්ද V-Force කණ්ඩායම අද උදෑසනින්ම සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථානයේ සිට මහව ප්‍රදේශය වෙත පිටත්ව ගියේ ය. කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අක්කර 25ක් පුරා විහිදුණු මහපළුගස් වැව ජලජ ශාකවලින් පිරී පැවතියේ ය. මාකඩුවාව, ඉහළකෝන්වැව, තුඹුල්ලේගම, හිතෝකඩවල, මොරගොල්ල , මැඩියාව ඇතුළු ගම්මානවල ජනතාව දෛනික ජල අවශ්‍යතාවලට සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සපයා ගන්නේ මේ වැවෙනි. මෙහි ජල තලය පාසි, සැල්වීනියා, විලකටු සහ තණකොළ ආදියෙන් වැසී ඇති අතර දැනට වල්බිහිව නොවී ඉතිරිව ඇති ප්‍රමාණය අක්කර 5කි. වසර ගණනකින් ප්‍රතිසංස්කරණය නෙකෙරුණු මහපළුගස් වැව පිරිසිදු කිරීමට අද V-Force තරුණ නායකයෝ යුහුසුළු වූහ. මේ කාර්යය ඉටු කෙරුණේ, වයඹ නාවික ආඥාපති රියර් අද්මිරල් සුජීව පෙරේරා මහතාගේ මග පෙන්වීම ලැබූ නාවික හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිව ය. ක්‍රවුන් හෝල්ඩිංස් පුද්ලික සමාගම මේ වටිනා කාර්යය සඳහා අනුග්‍රාහක දායකත්වය ලබා දුන්නේ ය. මේ කාර්යයට මොරටුව, වයඹ, රුහුණ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථයින් මෙන්ම ජාත්‍යන්තර යොවුන් සංවිධානයක් වන අයිසෙක් සංවිධානයේ සාමාජිකයෝ ද දායකත්වය ලබා දුන්හ. ගම්මැද්ද කණ්ඩායම, නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩලය, එම්.අයි.එම්. හෙවත් මහරාජා ඉන්ස්ටිටියුට් ඔෆ් මැනේජ්මන්ට් ආයතනයේ ඩිප්ලෝමා සිසු සිසුවියන් ඊට එක්වුණේ දැඩි උද්යෝගයෙනි. මහව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය හා ගොවිජන සේවා දොපාර්තමේන්තුවේ කුරුණෑගල නිලධාරීන් හා ගම්වැසියන්ගෙන් ලැබුණේ මාහැඟි දායකත්වයකි. අනතුරුව ස්වෙච්ඡා බලකායේ සාමාජිකයින් ඇගයීම සිදු කෙරුණේ, ඔවුන් ඉටු කළ කාර්යයන් අනුව පදක්කම් පිරිනමමිනි. ගම්මැද්ද V-Force පළමු අදියර සීගිරියේ පැවැත්වුණු අතර එහි දෙවැනි අදියර මීගමුව මුහන්දිරම්පිටිය කළපු තොටුපොළදී පැවැත්විණි. රත්නපුරයේ ගංවතුර අවදානම අවම කිරීමේ දිගු කාලීන අරමුණ ඇතිව කළු ගඟ දෙපස පැළ 4000ක් රෝපණය කෙරුණේ 3 වන අදියර යටතේ ය. 4 වන අදියර ක්‍රියාත්මක කෙරුණේ, දැදිගම මහපල්ලේගම කිනිවිට කණිෂ්ඨ විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමිනි.