කොකේන් හෙළිදරව්වේ වාර්තාව අනිද්දා අගමැතිට

රන්ජන්ගේ කොකේන් හෙළිදරව්ව පිළිබඳ කමිටු වාර්තාව අනිද්දා අගමැති වෙතට

by Staff writer 23-02-2019 | 12:42 PM

COLOMBO (News 1st) - කැබිනට් මණ්ඩලයේ කොකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෙවීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව අනිද්දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාරදීමට සැලසුම් කර තිබේ.

එම කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශූ මාරසිංහ මහතා සඳහන් කළේ, රන්ජන් රාමානායක අමාත්‍යවරයා තමන් කළ ප්‍රකාශයේදී හෙළි කළ කරුණු කමිටුව හමුවේ ප්‍රකාශ කළ බවයි. එහි සිටින ඇමතිවරුන් පිළිබඳව ද ඔහු කරුණු දැක් වූ බව මහාචාර්ය ආශූ මාරසිංහ මහතා පැවසුවේ ය. වාර්තාව අග්‍රාමාත්‍යවරයාට භාර දුන් පසු ඔහු විසින් ඉදිරි පියවර ගනු ඇති බව ද ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේ ය. එක්සත් ජාතික පක්ෂය විසින් පත් කළ මෙම කමිටුවේ සභාපතිත්වය දරන්නේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතායි. එහි සෙසු සාමාජිකයින් ලෙස රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශුබෝධ මාරසිංහ හා නිශ්ශංක නානායක්කාර යන මහත්වරුන් කටයුතු කරයි. කමිටුව ඊයේ පාර්ලිමේන්තු සංකීරණයේදී රැස්වී අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් ඔහු කළ ප්‍රකාශය පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගත්තේ ය.