රත්ගම ඝාතනය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවයි

රත්ගම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසම වාර්තාවක් කැඳවයි

by Staff writer 23-02-2019 | 7:15 AM

COLOMBO (News 1st) - රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි ජාතික පොලිස් කොමිසම පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අදාළ ඝාතන සිද්ධියට පොලිස් නිලධාරීන් සම්බන්ධවීම ඇතුළු තොරතුරු වාර්තාවක් අපේක්ෂා කරන බවයි. අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දා සැකපිට අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර පෙරේදා අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක විරාජ් මධුශංඛ මහතා පැය 48 ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. මේ අතර රත්ගම ප්‍රදේශයේදී පැහැරගත් එම ව්‍යාපාරිකයින් දෙදෙනා අක්මීමන ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී පහරදී ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙළිව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් දෙදෙනාගේ සිරුරු වලස්මුල්ල මැදගංගොඩ රක්ෂිතයේදී පුළුස්සා ඇති බවට අනාවරණයවී ඇති බවයි. පසුගිය ජනවාරි 23 වන දා මංජුල අසේල හා රෂීන් චින්තක නැමැති පුද්ගලයින් දෙදෙනා කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් තිබුණි. පවුලේ ඥාතීන් දිගින් දිගටම චෝදනා කළේ, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පිරිසක් සන්නද්ධව පැමිණ ඔවුන් දෙදෙනා රැගෙන ගිය බවය. ඥාතීන් ප්‍රකාශ කළේ, පසුගිය 05 වෙනි දා මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා තම දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව ගාල්ල සහකාර පොලිස් අධිකාරී සතිෂ් ගමගේ මහතා ප්‍රකාශ කළ ද පසුගිය 14 වෙනි දා තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවට ඔහු පැවසූ බවයි. මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ද මේ වනවිට පොලිස් මූලස්ථානයට තාවකාලික පදනම මත මාරු කර යවා තිබේ.