පැය 7කට ආසන්න කාලයක් පැවති රත්ගම විරෝධතාව අවසන්

පැය 7කට ආසන්න කාලයක් පැවති රත්ගම විරෝධතාව අවසන්

by Staff writer 23-02-2019 | 4:36 PM
COLOMBO (News 1st) - රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමට විරෝධය පළ කරමින් රත්ගම ප්‍රදේශවාසීන් පිරිසක් ගාලු පාර සහ දුම්රිය මාර්ගය අවහිර කරමින් පැවැත්වූ විරෝධතාව අද සවස අවසන් කළහ. ඒ, මෙම ඝාතනවලට සම්බන්ධ සෙසු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය ලබා දුන් පොරොන්දුවක් මත ය. ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ නිරත වූයේ, ඝාතනයන්ට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස බල කරමිනි. මොවුහු පැය 6කට අධික කාලයක් දුම්රිය මාර්ගය සහ ගාලු පාර අවහිර කරමින් විරෝධතාවයේ නිරත වූහ. මේ හේතුවෙන් රජරට රැජිණ දුම්රිය රත්ගම දුම්රිය ස්ථානයේත්, මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රිය කහව දුම්රිය ස්ථානයේත් පැය භාගයකට අධික කාලයක් නතර කර තිබූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.