පාර්ලිමේන්තු ගැටුම් පිළිබඳ වාර්තාවේ යටි අරමුණ

පාර්ලිමේන්තු ගැටුම් පිළිබඳ කමිටු වාර්තාවේ යටි අරමුණ ගැන මන්ත්‍රී ෂේහාන් සේමසිංහ කියයි

by Staff writer 23-02-2019 | 10:46 PM
COLOMBO (News 1st) - නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේදී සිදු වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලූ කමිටුව ඉදිරිපත් කර ඇති නිර්දේශ පිළිබඳව අදත් දේශපාලන වේදිකාවේ විවිධ අදහස් පළ විය. නියෝජ්‍ය කථානායකවරයාගේ සභාපතිත්වයෙන් යුතු අදාළ කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ චමල් රාජපක්ෂ , රංජිත් මද්දුමබණ්ඩර, මාවෙයි සේනාධිරාජා , චන්ද්‍රසිරි ගජධීර, බිමල් රත්නායක යන මහත්වරුන් ය. ඉන් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරුන් දෙදෙනා වන චමල් රාජපක්ෂ හා චන්ද්‍රසිරි ගජධීර යන මහත්වරු මෙම කමිටුවට සහභාගී වීම ආරම්භයේ සිටම වර්ජනය කළහ. සෙසු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ, මන්ත්‍රීවරුන් 60 දෙනෙකු පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද පනතේ සඳහන් වැරදි සිදු කර ඇති බව ය. ඉන් මන්ත්‍රීවරුන් 55 දෙනෙකුම එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර සෙසු 5 දෙනාගෙන් සිව් දෙනෙකු එක්සත් ජාතික පක්ෂයත් එක් මන්ත්‍රීවරයෙකු ජනතා විමුක්ති පෙරමුණත් නියෝජනය කරයි. ඔවුන්ට එරෙහිව ස්ථාවර නියෝග 77 අනුව පියවර ගත යුතු බව කමිටු නිර්දේශයන්හි සඳහන් ය. සති දෙකත් සති හතරත් අතර කාලයකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙම ස්ථාවර නියෝගයේ ඇතුළත් ය. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා මේ පිළිබඳව අදහස් පළ කළේ ය. ඔහු පැවසුවේ, මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවය අත්හිටුවා ජාතික ආණ්ඩු යෝජනාවලිය ඇතුළු තවත් අණ පනත් කිහිපයක් සම්මත කර ගැනීමේ උත්සහයක් මේ හරහා ඇති බව ය.