BREAKING : රුවන් විජේවර්ධන කැබිනට් නොවන ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

by Staff writer 22-02-2019 | 7:24 PM

COLOMBO (News 1st) - ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඊට සමගාමීව මංගල සමරවීර මහතා ද කැබිනට් මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබේ. දිවුරුම්දීම සිදු වූයේ ජනාධිපති නිල නිවසේදී ය. රුවන් විජේවර්ධන මහතාගේ මුත්තණුවන් වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු මෙන්ම ලේක්හවුස් ආදී කර්තෘවරයා ද වූ ප්‍රකට ව්‍යවසායක ඩී.ආර්.විජේවර්ධන මහතායි. විජේවර්ධන මහතාගේ 133 වැනි ජන්ම දිනය හෙටට යෙදී ඇති අවස්ථාවක විජේවර්ධන මහතා නව තනතුරට පත්වීම සුවිශේෂ සිදුවීමකි. කොළඹ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ඇරඹූ රුවන් විජේවර්ධන මහතා උසස් අධ්‍යාපනය ලැබුවේ එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙනි. 1998 වසරේ ඔහු වෘත්තිය දිවිය ඇරඹුවේ සතිමැද පුවත්පතක් වන "මිඩ් වීක් මිරර්" පුවත්පත සමගයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමින් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි රුවන් විජේවර්ධන මහතා 2009 වසරේ පළාත් සභා මැතිවරණයෙන් ජයගෙන බස්නාහිර පළාත් සභාවට පිවිසියේ විපක්‍ෂයේ වැඩිම මනාප ලබා ගනිමින් ය. එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික තරුණ පෙරමුණේ සභාපතිවරයා වූ රුවන් විජේවර්ධන මහතා 2010 මහා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විණි. 2015 ජනාධිපතිවරණයෙන් පසු නව රජයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූයේ ද රුවන් විජේවර්ධන මහතායි.