ගංජා සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

රු. ලක්ෂ 8කට අධික ගංජා සමග කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

by Staff writer 22-02-2019 | 10:50 AM
COLOMBO (News 1st) - ගංජා කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 94ක් මෙරටින් රැගෙන යාමට තැත් කළ කාන්තාවක කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ,එම ගංජා ඩුබායි වෙත රැගෙන යාමට සූදානම්ව තිබියදී අත්අඩංගුවට ගත් බව ය. එහි වටිනාකම රුපියල් 837,000කි. ඇය සිය ගමන් මළුවල සූක්ෂම ලෙස සඟවා ගංජා මෙරටින් රැගෙන යාමට තැත් කර ඇතැයි විපුල මිනුවන්පිටිය මහතා සඳහන් කළේ ය. සැකකාරිය 48 හැවිරිදි මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචිකාරිණියකි. මේ අතර කේරළ ගංජා කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 110ක් සමග සැකකරුවෙකු ගොතටුව මෙගොඩ කොළොන්නාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. 26 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය මෙගොඩ කොළොන්නාව පදිංචිකරුවෙකි. මේ අතර හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවන් 04 දෙනෙකු ද දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන තිබේ. ග්‍රැන්ඩ්පාස්, මොරටුව, වැලිකඩ සහ ගල්නෑව පොලිස් බල ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගත් හෙරොයින්වල බර ග්‍රෑම් 34කට අධික ය.