රන්ජන් ප්‍රකාශයක් ලබා දෙයි

රන්ජන් මත්ද්‍රව්‍ය ගන්නා මන්ත්‍රීන් ගැන විමසන පරීක්ෂණ කමිටුව හමුවට පැමිණෙයි

by Staff writer 22-02-2019 | 12:04 PM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය භාවිත කරන බවට චෝදනා එල්ල වන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සෙවීම සඳහා පත් කරන ලද කමිටුවේ වාර්තාව අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දෙන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. කැබිනට් මණ්ඩලය තුළ කෝකේන් භාවිත කරන අමාත්‍යවරුන් සිටින්නේ යැයි, රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පසුගියදා කියා සිටියේ ය. පසුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කෙරුණු අතර එම කමිටුව අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්විණි. ඉරාන් වික්‍රමරත්න, නිශ්ශංක නානායක්කාර සහ ආශු මාරසිංහ යන මන්ත්‍රීවරුන් එම කමිටුවේ සෙසු සාමාජිකයින් ය. කමිටුව ඉදිරියේ ප්‍රකාශයක් ලබා දීම සඳහා අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පෙරවරු 9.30ට පැමිණ අතර පැයකට ආසන්න කාලයක් විමර්ශන කටයුතු පැවැත්විණි.