රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කර පුළුස්සා ඇති බව හෙළිවෙයි

by Staff writer 22-02-2019 | 8:38 PM

COLOMBO (News 1st) - රත්ගම ප්‍රදේශයේදී පැහැරගත් ව්‍යාපාරිකයින් දෙදෙනා අක්මීමන, ගොනාමුල්ල ප්‍රදේශයේ නිවසකදී පහරදී ඝාතනය කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

අද එම ස්ථානය ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට ලක් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් දෙදෙනාගේ සිරුරු වලස්මුල්ල මැදගංගොඩ රක්ෂිතයේදී පුළුස්සා ඇති බවට අණාවරණයවී ඇති බවයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක විරාජ් මධුශංඛ මහතා පැය 48 ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. ඒ, ඔහු අද ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුලවල මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර අදාළ පුද්ගලයින් දෙදෙනා ඝාතනය කළ බවට සැකකෙරෙන නිවස අද පස්වරුවේ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නිරීක්ෂණය කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා අත්අඩංගුවට ගැණුනු අතර ඔහු මේ වන විට පසුවන්නේ රක්ෂිත බන්ධනාගාරයේ ය. පසුගිය ජනවාරී 23 වෙනි දා මංජුල අසේල හා රෂීන් චින්තක නැමැති පුද්ගලයින් දෙදෙනා කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් තිබුණි. පවුලේ ඥාතීන් දිගින් දිගටම චෝදනා කළේ, පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පිරිසක් සන්නද්ධව පැමිණ ඔවුන් දෙදෙනා රැගෙන ගිය බවයි. ඔවුන් ප්‍රකාශ කළේ, පසුගිය 05 වෙනි දා මෙම ව්‍යාපාරිකයින් දෙදෙනා තම දෙපාර්තමේන්තුව භාරයේ සිටින බව ගාල්ල සහකාර පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා ප්‍රකාශ කළ ද පසුගිය 14 වෙනි දා තමන් එවැනි ප්‍රකාශයක් නොකළ බවට ඔහු පැවසූ බවයි. දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිහිටි විශේෂ ඒකකයක් මගින් අදාළ පුද්ගලයින් දෙදෙනා පැහැරගෙන ගිය බවට පසුගිය 6 වෙනි දා ඔවුන්ගේ නිවෙස් වෙත ලැබී තිබූ නිර්ණාමික ලිපියක සඳහන්ව තිබුණි. එක් පුද්ගලයෙකු පහරදීම් හේතුවෙන් මියගිය බවත් අනෙක් පුද්ගලයා එය දුටු හෙයින් ඔහුව ද ඝාතනය කළ බවත් එම ලිපියේ සඳහන්ව තිබූ බව ඥාතීන් ප්‍රකාශ කළහ. එය ප්‍රසිද්ධියට පත්වූ පසු පොලිස්පතිවරයාගේ නියෝග මත සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබුවේ ය. මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ද මේ වනවිට පොලිස් මූලස්ථානයට තාවකාලික පදනම මත මාරු කර යවා තිබේ.