පකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමේ තීරණයක්

පකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කරයි

by Staff writer 22-02-2019 | 10:28 AM
COLOMBO (News 1st) - ඉන්දියාවේ සිට පකිස්ථානයට ගලා යන ගංගා ජලය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබේ. ඒ, පුල්වාමා ප්‍රහාරයට ඉන්දියාව දක්වන නවතම ප්‍රතිචාරය ලෙසයි. ඒ අනුව ඉන්දියාවේ සිට පකිස්ථානයට ජලය ගලා යන ඉන්දු නදිය නව බැම්මක් ආධාරයෙන් වෙනත් දිශාවකට හැරවීමට කටයුතු කරන බව ඉන්දීය ප්‍රවාහන හා ජල සම්පත් අමාත්‍ය නිතින් ගද්කාරී ප්‍රකාශ කළේ ය. මේ අතර ඉන්දියාව ප්‍රහාරයක් එල්ල කළ හොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගියදා අනතුරු අඟවනු ලැබී ය. ඔහු මෙම අනතුරු ඇඟවීම කළේ, තම අසල්වැසියන් ත්‍රස්තවාදයට උපකාර කරන බවත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු බවටත් පසුගිය සිකුරාදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි. ඉකුත් බ්‍රහස්පතින්දා කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී ඉන්දීය හමුදා සෙබළුන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඉන්දු - පකිස්ථාන සබඳතා මෙලෙස පළුදු වෙමින් තිබේ. ඉන්දු, කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේ පසුගිය 14 වන බ්‍රහස්පතින්දා හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කර මොටර් රථයකින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවෝ ප්‍රහාරයක් එල්ල කළහ. මෙම ප්‍රහාරයේ වගකීම පකිස්ථානයේ සිට ක්‍රියාත්මක ජායිස් ඊ මොහොමද් නමැති සටන්කාමී සංවිධානයක් භාර ගත්තේ ය.