අනුරුද්ධට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

අනුරුද්ධ පාදෙණියට එරෙහි නඩුවේ සාක්ෂි විභාගයට අභියාචනාධිකරණය දින නියම කරයි

by Staff writer 22-02-2019 | 5:00 PM

COLOMBO (News 1st) - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය මැයි මස 22 වන දා ආරම්භ කිරීමට අභියාචනාධිකරණය අද දින නියම කර තිබේ.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩුව පවරා ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය සහ පුරවැසි බලය සංවිධානයේ සමකැඳවුම්කරු ප්‍රවීණ ලේඛක ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් ය. නඩුව අද කැඳවූයේ අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ඉදිරියේදී යි. නඩුව සම්බන්ධයෙන් පාදෙණිය මහතා ගොනු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට එම නඩුව විභාග කිරීමට අභියාචනාධිකරණය මීට පෙර නියෝග කරනු ලැබුවේය. පසුගිය අප්‍රේල් 7 වන දා සයිටම් ආයතනය අහෝසි කරන ලෙසට පැවති එක් දින වැඩ වර්ජනයෙන් අනතුරුව එදින කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතා රැළියකදී වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාස වන ආකාරයට ප්‍රකාශයක් කර ඇති බවත් එය මාධ්‍ය තුළින් ප්‍රචාරය වී ඇති බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි. නිර්දය ලෙස හා අපහාසාත්මකව ඔහු අභියාචනාධිකරණයේ අධිකාරී බලය හෑල්ලුවට ලක් කර ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය ප්‍රකාරව ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටිනු ඇත.