ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වසා දැමේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය වසා දැමේ

by Staff writer 21-02-2019 | 4:11 PM
COLOMBO (News 1st) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨය නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ. එහි උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, නවක වදය සිද්ධිය මුල් කර ගනිමින් එම පියවර ගත් බව ය. එලෙස කළමනාකරණ පීඨය වසා දමා ඇත්තේ, වාචිකව හිරිහැර කිරීම පදනම් කර ගනිමින් නවක සිසුන් මානසික වශයෙන් පීඩනයට ලක්වීම හේතුවෙනි. ඔවුන් නවක සිසුන්ට අද පැවති දේශනවලට සහභාගී වීමට ද අවස්ථාව ලබා නොදීම ඊට ආසන්නතම හේතුවක් වී තිබේ. මේ හේතුවෙන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සියලු සිසුන් හෙට උදෑසන 7 ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බව උපකුලපතිවරයා සඳහන් කළේ ය.