ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට

by Staff writer 21-02-2019 | 11:25 AM

COLOMBO (News 1st) - ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස අද තේරී පත් විය.

ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදීයි. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකු තරග කළහ. එහිදී ප්‍රකාශය කළ ඡන්ද ගණන 142 කි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා අර්ජුන රණතුංග මහතාගේ පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා ජයන්ත ධර්මදාස මහතා නාම යෝජනා භාරදුන් අතර තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම යෝජනා භාරදුන්නේ මොහාන් ද සිල්වා මහතායි. උපසභාපති ධූරයට රණතුංග පාර්ශ්වයෙන් අර්ජුන රණතුංග, කේ. මදිවානන් තරග කරන අතර සුමතිපාල පාර්ශ්වයෙන් රවීන් වික්‍රමරත්න සහ ශම්මි සිල්වා නාම යෝජනා භාර දුන්නේ ය. නමුත් සුමතිපාල පාර්ශ්වයේ මොහාන් ද සිල්වාගේ සහ රවීන් වික්‍රමරත්නගේ නාම යෝජනා අභියාචන කමිටුව ප්‍රතික්ෂේප කළ අතර එම තීරණයට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවට ගියේ ඉන් අනතුරුවයි. එම පෙත්සම ඊයේ නැවත සලකා බැලූ අතර උපසභාපති හෝ උපලේකම් ධූරයට රවීන් වික්‍රමරත්න මහතාටත් ලේකම් ධූරයට මොහාන් ද සිල්වා මහතාටත් තරග කිරීමට අවස්ථාව ලබාදීමේ එකඟතාවයට එහිදී දෙපාර්ශ්වය කැමැත්ත පළ කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද උදෑසන ආරම්භ වූයේ ඒ අනුවයි.