රාජ්‍ය ආයතනවල දූෂණ විමර්ශනයට පොලිස් කණ්ඩායමක්

රාජ්‍ය ආයතනවල දූෂණ විමර්ශන කොමිසමේ සහයට පොලිස් කණ්ඩායමක්

by Staff writer 21-02-2019 | 6:21 AM

COLOMBO (News 1st) - පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනවල සිදු වූ වංචා විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම සිදු කරන මූලික විමර්ශන සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් අනියුක්ත කරන්නැයි පොලිස්පතිවරයා වෙත දැනුම්දී තිබේ.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ සඳහා විශේෂ දක්ෂතා සහිත පොලිස් දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායමක් අනියුක්ත කරන්නැයි දැනුම් දුන් බවයි. අදාළ කණ්ඩායම සහකාර පොලිස් අධිකාරිවරයෙකු යටතේ පත් කළ යුතු වනු ඇත. මේ අතර ජනවාරි 29 වැනි දා සිට මේ දක්වා කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 101 ක්. මේ වන විට අදාළ පැමිණිලි සළකා බැලීම සිදු වනු ඇති. කොමිසමට ලැබෙන පැමිණිලිවලින් බහුතරයක් එහි විෂය පථයට අයත් නොවන ඒවා බව ද එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමේ කාර්ය වන්නේ, පසුගිය වසර 4 තුළ රාජ්‍ය ආයතනයවල දූෂණ ක්‍රියා, සාපරාධි විශ්වාසය කඩ කිරීම, දේපොළ සාපරාධි පරිහරණය, රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳව මහජන පැමිණිලි, තොරතුරු සහ සෙසු කරුණු කැඳවීම සහ ඒවා පුළුල් විමර්ශනයකට ලක් කිරීමයි. ඒ සම්බන්ධයෙන් ලිඛිත පැමිණිලි හෝ තොරතුරු සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන්, ලේකම්, රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසන් සභාව, කාමර අංක 210, බ්ලොක් 02 දෙවැනි මහල, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයට යොමු කළ හැකි වේ. 0112 66 53 82 යන දුරකතන අංකය ඇමතීමෙන් ඒ පිළිබඳව වාචික තොරතුරු ඉදිරිපත් කළ හැකියි. කොමිසමට පැමිණිලි භාර ගැනීම ලබන මාර්තු මස 07 වැනි දායින් අවසන් වනු ඇති.