මෙරට ජනතාවට නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායන් සමීප කර වීමට අද සිට ඊ-හෙල්ත් කාඩ්පත

by Staff writer 21-02-2019 | 4:54 PM
COLOMBO (News 1st) - නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපායන් මෙරට ජනතාවට හඳුන්වා දීමේ අරමුණින් ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වා දීම අද සිදු විය. මෙම වැඩසටහන අද ආරම්භ වූයේ කළුතර දිස්ත්‍රික්කයෙනි. මේ යටතේ පළමු අදියරේදී රෝහල් 200කින් කාඩ්පත් නිකුත් කිරීමට නියමිත ය. සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, මේ වන විට දිවයින පුරා සියලු ම රෝහල් පරිගණකගත කිරීම ආරම්භ කර ඇති බව ය. ඒ අනුව මේ වසර අවසන් වන විට රෝහල් 300ක් පමණ පරිගණකගත කිරීමට අපේක්ෂාව වී තිබේ. ඊ-හෙල්ත් කාඩ්පත හඳුන්වා දීමෙන් පසු මාස 06ක් තුළ මිලියන 21ක් වූ ජනතාවට ම මෙම කාඩිපත ලබා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මෙම කාඩ්පත හරහා රෝගීන්ගේ සියලු ම වෛද්‍ය වාර්තා හා දත්ත ගබඩා කර තිබේ. මේ අනුව කිසියම් රෝගියෙකු රෝහල වෙත සිහිසුන්ව පැමිණිය ද ඊ-හෙල්ත් කාඩ්පත භාවිත කරමින් ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වා දෙයි. මේ අතර මෙම වැඩපිළිවෙළට සමගාමීව පවුලේ වෛද්‍යවරයා සංකල්පය ද හඳුන්වා දීමට නියමිතය. එහිදී පුද්ගලයින් 10,000කට එක් වෛද්‍යවරයෙකු පත් කර වසරක් තුළ ඔවුන් පරීක්ෂා කර රෝග හඳුනා ගත යුතුය. ඉන් පසු සෑම පුද්ගලයෙකුම මාස 06කට වරක් පරීක්ෂා කිරීම අනිවාර්ය වන අතර මෙම පරීක්ෂා කිරීම්වල වෛද්‍ය වාර්තා ද ඊ-හෙල්ත් කාඩ්පතට ඇතුළත් කිරීමට නියමිත ය.