by Staff writer 21-02-2019 | 9:17 PM
COLOMBO (News 1st) - නිසි කළමනාකරණයක් නොමැති වීමෙන් සිදු කරන පාඩු අවසානයේ දරන්නට සිදු වන්නේ රටේ ජනතාවටයි.
ශ්‍රීලංකන් ගුවන් සේවයේ පසුගිය දෙසැම්බර් මාසය සඳහා වන අභ්‍යන්තර මූල්‍ය වාර්තාවකින් හෙළි නොවුණු එවැනි කරුණු ගණනාවක් අනාවරණය වේ.
ඒ, ශ්‍රීලංකන් ආයතනය කෙතරම් රජයේ සහ පුද්ගලික ආයතන සහ බැංකුවලට ණය වී ඇත් ද යන්නයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම 2018 - 2019 මුදල් වර්ෂයේ මුල් මාස 9 තුළ ලබා ඇති පාඩුව රුපියල් බිලියන 24ක් හෙවත් රුපියල් මිලියන 24000කි.
මේ වාර්තාව අනුව 2018 දෙසැම්බර් 31 වන විට ශ්‍රීලංකන් ගුවන් සේවය මූල්‍ය ආයතනවලට ඩොලර් මිලියන 461.5ක් ණය වී තිබේ.
මේ අතරින් ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු 2කට ණය වී ඇති ප්‍රමාණය ඩොලර් මිලියන 200ක් සහ ඩොලර් මිලියන 198.18කි.
ඊට අමතරව තවත් ඩොලර් මිලියන 70ක් බැංකු අයිරා පහසුකමක් ද ලබා ගෙන තිබේ.
මෙම ණය මුදලින් පසුගිය වසර අවසානය වන විට ගෙවීමට ඉතිරිව තිබූ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 400ක් හෙවත් රුපියල් මිලියන 71840කි.
එනම් කෝටි 7184ක්.
මෙහි ඇති තවත් කරුණක් වන්නේ, 2019 වසරේ ජුනි මාසයේදී කල් පිරෙන බැඳුම්කරයක් සඳහා ඩොලර් මිලියන 175ක් හෙවත් රුපියල් මිලියන 31430ක් ගෙවන්නට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව ඇති බව ය.
එයට පොළිය ලෙස තවත් ඩොලර් 823000ක් හෙවත් රුපියල් මිලියන 147කට අධික මුදලක් ගෙවන්නට තිබේ.
මෙම වාර්තාවට අනුව 2018 දෙසැම්බර් වන විට ගෙවීමට තිබූ ණය ප්‍රමාණය රුපියල් මිලියන 128,484ක් හෙවත් රුපියල් බිලියන 128කි.
මීට අමතරව ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා පෙර ලබා ගත් පහසුකමකට ඩොලර් මිලියන 36.53ක් ද ගෙවන්නට ඉතිරිව තිබේ.
පසුගිය 2016 ජුනි 27 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම කියා සිටියේ, දිගින් දිගටම ලබන අලාභයන්හි වගකීම දැරීමට රජය සූදානම් නැති බැවින් ෆ්රැන්ක්වර්ට් සහ පැරිස් ගමනාන්තයන් අත්හිටුවන බව ය.
එවන් තර්කයක් මත හිඳිමින් බෙහෙවින් ජනප්‍රිය, යුරෝපයේ ගමනාන්ත කිහිපයක් අත්හිටුවා ඒ වෙනුවට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් කරා ගමන් ආරම්භ කරයි.
නමුත් මෙම අභ්‍යන්තර මූල්‍ය වාර්තාව දෙස බලන විට පෙනී යන්නේ, මෙල්බන් ගමනාන්තය ආයතනයට වඩාත්ම පාඩු උපදවන ගමනාන්තය බව ය.
රාජ්‍ය බැංකුවලින් ලබා ගත් ණය සහ රජයේ වගකීම සහිත බැඳුම්කර වැනි ක්‍රමවේද ඔස්සේ මෙරට මහජනතාවගේ ධනය කෝටි ගණන් නාස්ති කරමින් නුසුදුස්සන්ට ගුවන් සේවයක් පාලනය කරන්නට ඉඩ දී බලා සිටින්නේ කවුද?