වෙඩිකන්දේ කසුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

වෙඩිකන්දේ කසුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

by Staff writer 20-02-2019 | 5:17 PM
COLOMBO (News 1st) - මාකදුරේ මධුෂ්ගේ සහයකයෙකු බව කියන කසුන් ධනංජය නොහොත් වෙඩිකන්දේ කසුන් නමැත්තා ලබන මස 06 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඒ, සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. සැකකරු ලබන 06 වන දා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී සැකකරු ඊයේ අත්අඩංගුවට ගැනිණි. මොහු 2018 වසරේ නොවැම්බර් 05 වන දින මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී නිවෙස් හිමියන්ට ගිනිඅවියකින් පහර දී මැණික් සහ දියමන්ති කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ අයෙකු වේ. එම අවස්ථාවේ මැණික් මිලදී ගැනීමට පැමිණ සිටි විදේශිකයෙකුට අත්විලංගු දා පැහැර ගෙන ගොස් මහරගම ප්‍රදේශයේ දමා පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ල වී තිබේ.