නීතිඥ සංගම් නිලවරණය අද

නීතිඥ සංගම් නිලවරණය අද

by Staff writer 20-02-2019 | 7:00 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය අද පැවැත්වේ. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, 2019 - 2020 වසර සඳහා, නීතිඥ සංගමයට නව සභාපතිවරයෙකු සහ ලේකම්වරයෙකු පත් කර ගැනීම මෙවර නිලවරණයේදී සිදුකෙරෙන බවයි. සෑම දිසා අධිකරණයක්ම ආවරණය වන පරිදි පෙරවරු 8.00 සිට සවස 5.00 දක්වා, මධ්‍යස්ථාන 84 කදී අද ඡන්ද විමසීම සිදුකෙරේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2019 - 2020 වර්ෂය සඳහා සභාපතිධූරයට මෙවර තරග කරන්නේ, ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සහ නීතීඥ මහින්ද ලොකුගේ යන මහත්වරුන් ය. නීතිඥ කෞෂල්‍ය නවරත්න සහ නීතිඥ සමන් වැලිඅංග යන මහත්වරු මෙවර ලේකම්ධූරය සඳහා තරග වදිති. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මෙවර නිලවරණයේ ප‍්‍රධාන තේරීම් භාර නිලධාරියා ලෙස සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කටයුතු කරයි. නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ, කොළඹින් පිටස්තර ඡන්ද මධ්‍යස්ථානවල තේරිම් භාර නිලධාරීන් වශයෙන් ඒ ඒ පළාත්වල දිසා විනිසුරුවරුන් කටයුතු කරන බවයි.