තවමත් මතභේදාත්මක තත්ත්වයක පවතින කෙරවලපිටිය විදුලි බලාගාර ටෙන්ඩර් අර්බුදය

by Staff writer 20-02-2019 | 8:12 PM
COLOMBO (News 1st) - කෙරවලපිටියේ ඉදිකිරීමට යෝජනා වූ මෙගාවොට් 300ක විදුලි බලාගාරය සම්බන්ධ ටෙන්ඩරය පිරිනැමීම තවමත් මතභේදාත්මක තත්ත්වයක පවතී. ඩීසල් හෝ දැවි තෙල් මගින් ක්‍රියාත්මක කර පසුව ස්වභාවික ද්‍රව වායුවලට පරිවර්තනය කිරීමේ පදනම මත මෙම බලාගාරයට අදාළව ටෙන්ඩර් කැඳවීම සිදු විය. මතභේදාත්මක තත්ත්වයන් රැසක් මත විදුලිබල මණ්ඩලයට අනුබද්ධ ලංකා ට්‍රාන්ස්පෝමර් සමාගමට වැඩි කොටස් ප්‍රමාණයක් හිමි ලක්දනවි සහ වින්ඩ් ෆෝස් නමැති සමාගම් දෙක අවසාන අදියරට තෝරා ගෙන තිබිණි. විවිධ කමිටු හා අභියාචනාවලින් පසුව මෙම බලාගාරය වින්ෆෝස් සමාගමට ලබා දීමට තීරණය කෙරුණත් යළි එය ප්‍රශ්නගත වූයේ, පාර්ශවයක් අධිකරණය හමුවට යාම නිසයි. පසුගියදා අමාත්‍ය රවි කරුණානායක මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම සමාගම් දෙකටම මෙගාවොට් 300 බැගින් බලාගාර දෙකක් ඉදිකිරීමට ඉඩ ලබා දීම සඳහා අනුමැතිය ලබා ගෙන තිබිණි. එහෙත් ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ සේවක පිරිසක් අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, පළමු බලාගාරය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව වින්ෆෝස් සමාගමට ලබා දී දෙවන බලාගාරය ලක්දනවි සමාගමට ලබා දීම නිවැරදි තීරණයක් නොවන බව ය.