රයිනා රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

රයිනා දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

by Staff writer 19-02-2019 | 4:39 PM
COLOMBO (News 1st) - කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බව කියන දිසානායක චනිදු චනිල්ක සංකල්ප නොහොත් රයිනා නමැති සැකකරු දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබේ. ඒ, සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. කෙසෙල්වත්ත වේල්ලවීදිය ප්‍රදේශයේදී පෙරේදා සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට මෙම සැකකරු අත්අඩංගුවට පත් විය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ, ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙසෙල්වත්ත දිනුක නමැත්තාගේ ප්‍රධාන සහයකයෙකු බව ය. සැකකරු කෙසෙල්වත්ත දිනුකගේ මූල්‍යමය කටයුතු ආදිය පවත්වාගෙන ගිය ප්‍රධාන සහයකයා බවට ද අනාවරණය වී තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4ක් පමණ සහ කඩුවක් ද විශේෂ කාර්ය බලකා භාරයට ගැනිණි. 24 හැවිරිදි සැකකරු සූරියමල්පුර කුමාරදොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.