by Staff writer 19-02-2019 | 4:58 PM
COLOMBO (News 1st) - මාකදුරේ මධුෂ්ගේ සහයකයෙකු බව කියන කසුන් ධනංජය නොහොත්, වෙඩිකන්දේ කසුන් නමැත්තා අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කිරිබත්ගොඩ වෙඩිකන්ද ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී ය.
පොලීසිය සඳහන් කළේ, මොහු 2018 වසරේ නොවැම්බර් 05 වන දින මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ නිවසකට පොලිස් නිලධාරීන් ලෙස ඇතුළු වී නිවෙස් හිමියන්ට ගිනිඅවියකින් පහර දී මැණික් සහ දියමන්ති කොල්ල කෑමේ සිද්ධියට සම්බන්ධ බව ය.
එම අවස්ථාවේ මැණික් මිලදී ගැනීමට පැමිණ සිටි විදේශිකයෙකුට අත්විලංගු දා පැහැරගෙන ගොස් මහරගම ප්‍රදේශයේ දමා පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ද සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි වෙඩිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සිද්ධි සම්බන්ධයෙන් මීට පෙර ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත හා දුරකතන වාර්තා විශ්ලේෂණය කිරීමෙන් ලබා ගත් තොරතුරු මත වෙඩිකන්දේ කසුන් නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හෙට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.