පකිස්ථාන අගමැතිගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්

ප්‍රහාර එල්ල කළ හොත්, ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට පකිස්ථාන අගමැතිගෙන් ඉන්දියාවට අනතුරු ඇඟවීම්

by Staff writer 19-02-2019 | 8:24 PM
(News 1st) -ඉන්දියාව ප්‍රහාරයක් එල්ල කළ හොත් ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අනතුරු අඟවයි. ඔහු මෙම අනතුරු ඇඟවීම කළේ, තම අසල්වැසියන් ත්‍රස්තවාදයට උපකාර කරන බවත් ඊට ප්‍රතිචාර දැක්විය යුතු බවටත් පසුගිය සිකුරාදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කළ ප්‍රකාශයට පිළිතුරු දෙමිනි. පසුගිය බ්‍රහස්පතින්දා කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේදී ඉන්දීය හමුදා සෙබළුන් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඉන්දු - පකිස්ථාන සබඳතා මෙලෙස පළුදු වෙමින් තිබේ. ඉන්දු, කාශ්මීරයේ පුල්වාමා ප්‍රදේශයේ පසුගිය 14 වන බ්‍රහස්පතින්දා හමුදා ට්‍රක් රථයක් ඉලක්ක කර මොටර් රථයකින් පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරුවෝ ප්‍රහාරයක් එල්ල කළහ. මෙම ප්‍රහාරයේ වගකීම පකිස්ථානයේ සිට ක්‍රියාත්මක ජායිස් ඊ මොහොමද් නමැති සටන්කාමී සංවිධානයක් භාර ගත්තේ ය. පැය 12ක ඒකාබද්ධ මෙහෙයුමකින් පසුව ඉන්දීය ආරක්ෂක හමුදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන ගාෂි රෂීඩ් නොහොත් කම්රන් නමැත්තෙකු ඝාතනය කළ බව නිවේදනය කළේ ය. පසුගිය සිකුරාදා ජන රැළියක් අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අනතුරු ඇඟවූයේ, ජාත්‍යන්තරයෙන් කොන්වී සිටින තම අසල්වැසියා ත්‍රස්තවාදය යොදා ගනිමින් රට අස්ථාවර කිරීමට උත්සහ දරණ බව ය.
15-02-2019 නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍ය "මෙවැනි ප්‍රහාරවලින් ඉන්දියාව දුර්වල කරන්න ඉඩක් නැහැ. මීට වගකිව යුත්තන්ට විශාල වන්දියක් ගෙවන්න වෙයි. ත්‍රස්තවාදය මර්දනයට ආරක්ෂක හමුදාවට පූර්ණ නිදහස ලබා දෙනවා. ජනතාවගේ ලේ රත් වෙනවා. මේ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටින බලවේගයට අනිවාර්යෙන්ම දඬුවම් ලබා දෙනවා. ජාත්‍යන්තරයේ හුදෙකලා වී සිටින අසල්වැසි රට මෙවැනි ත්‍රස්ත ප්‍රහාරවලින් අප අස්ථාවර කළ හැකි යැයි සිතනවා නම් ඔවුන්ගේ සැලසුම් යථාර්ථයක් වන්නේ නැහැ."
ඉන්දියාව නගන චෝදනාවලට පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද ලබා දුන්නේ දැඩි පිළිතුරකි. ත්‍රස්තවාදයට උපකාර කරන බවට නගන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කළේ ය.
19-02-2019 ඉම්රාන් ඛාන් පකිස්ථාන අග්‍රාමාත්‍ය "අනවශ්‍ය පීඩනයක් ඇති කරන්න අවශ්‍ය නැහැ. තහවුරු කළ හැකි සාධක තිබෙනවා නම් පෙන්වන්න. මම සහතික වෙනවා මා මැදිහත්වී වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා බවට. ත්‍රස්තවාදය කියන්නේ පකිස්ථානයෙත් සතුරෙක්. ඉන්දියාවට ත්‍රස්තවාදය ගැන කථා කරන්න අවශ්‍ය නම් අපිත් සූදානම් ඒ ගැන කථා කරන්න. පකිස්ථානයටත් ත්‍රස්තවාදය දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. ඉන්දීය දේශපාලනඥයින් පකිස්ථානයට පාඩමක් උගන්වන්න හිතනවා නම් කොහොමද ඒ ගැන ඒකපාර්ශවිකව තීන්දු කරන්නේ. අපි දන්නවා මේ ඉන්දියාවේ මැතිවරණ කාල සීමාව. අපි දන්නවා ඔබට ඡන්ද වැඩි කර ගන්න ඕනේ. පකිස්ථානය ප්‍රතිප්‍රහාර එල්ල කරන්න හිතන්නේ නැහැ. ප්‍රතිප්‍රහාර එල්ල කරනවා."
ලබන මැයි මාසයේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබියදී එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පසුව අගමැති නරේන්ද්‍ර මෝදි දැඩි පීඩනයකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. අගමැතිවරයා ත්‍රස්තවාදයට එරෙහිව ශක්තිමත්ව හා දැඩිව ප්‍රතිචාර දැක්වීමට හමුදාවට පූර්ණ නිදහස ලබා දී ඇත්තේ මේ පීඩනය හමුවේ ය. මේ අතර කාශ්මීරයේ ඉන්දීය හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් කේ.ජේ.එස්. ඩිලෝන් අද අනතුරු අඟවා සිටියේ තම පුතුන් සටන්කාමීන් නම් ඔවුන්ට වහා යටත් වන ලෙස මව්වරුන්ට දන්වන බව ය. එසේ යටත් නොවන්නේ නම් ඔවුන් මිය ගියාසේ සලකන ලෙස ඉන්දීය හමුදා ප්‍රධානියා පවසයි. මේ අතර පකිස්ථානයේ සංචාරය අවසන් කර සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු අද ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණියේ ය. ඔහු එහිදී කියා සිටියේ, ඉන්දු - පකිස්ථාන මතභේද සමථයකට පත් කිරීම සඳහා තමන් සහය වන බව ය. සෞදි ආරබි කුමරා පකිස්ථාන සංචාරයේදී අමෙරිකානු ඩොලර් බිලියන 20ක වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් කළේ ය.