නවම් පුර පසළොස්වක පොහොය අදයි

නවම් පුර පසළොස්වක පොහොය අදයි

by Staff writer 19-02-2019 | 6:59 AM
COLOMBO (News 1st) : සම්බුද්ධ ශාසනයේ සුවිශේෂී වූ සිද්ධීන් රැසක් සිදුවූ නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. අනන්ත සංසාරයේ පාරමී පිරූ සැරියුත් මහ රහතන් වහන්සේ හා මුගලන් මහ රහතන් වහන්සේ අග්‍රශ්‍රාවක තනතුරු ලැබුවේ අද වැනි නවම් පුර පසළොස්වක පොහෝ දිනකදීයි. එහිදී සැරියුත් මහ රහතන් වහන්සේට ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානයත්- , මුගලන් මහ රහතන් වහන්සේට ඍද්ධිමතුන් අතර අග්‍රස්ථානයත් පිරිනැමීම සිදුවු බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය. බෞද්ධ ඉතිහාසයේ අනූව රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමිය මුල් කරගෙන බුද්ධ ශාසනයේ ප්‍රථම මහා සංඝ සම්මේලනය අද වැනි දිනක පවත්වා තිබේ. බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේට ඕවාද ප්‍රාතිමෝක්ෂය, දේශනා කොට වදාළේ ද අද වැනි උතුම් පොහෝ දිනකදීයි. එමෙන්ම උන් වහන්සේගේ පන්සාලිස් වසරක ශාස‍නික සේවය අවසන් කරමින් පරිනිර්වානයට ‍තෙමසකට පෙර විශාලා මහනුවර චාපාල චේතියේදී ආයු සංස්කාරය අත්හැරීම සිදුව ඇත්තේ අද වන් නවම් පුර පොහෝ දිනයකදී බව සඳහන් ය.