දෙවන ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීම කඩිනම් වෙයි

දෙවන ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීම කඩිනම් වෙයි

by Sagarika Chathumali 19-02-2019 | 7:10 AM
COLOMBO (News 1st) : බරපතළ මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවන ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය කොළඹ මහාධිකරණ ශාලා අංක 1හි පිහිටුවීමට තීරණය කර තිබේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ඉතා ඉක්මනින් දෙවන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය පිහිටුවීමට පියවර ගන්නා බවයි. දෙවන ස්ථීර ත්‍රිපුද්ගල විශේෂ මහධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කළ ද, එය පිහිටුවන ස්ථානය පිළබඳව ගැටලු මතුව තිබිණ. මේ අතර දෙවන විශේෂ මහාධිකරණයේ නාම පුවරුව අනුමැතිය සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමු කර තිබේ. අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ සඳහා අනුමැතිය ලද විගස මහාධිකරණයේ කටයුතු ආරම්භ කිරිමට හැකි බවයි. දෙවන විශේෂ මහාධිකරණය සඳහා අවශ්‍ය අනෙකුත් සෙසු නිලධාරීන් ද, මේ වන විට පත් කර ඇතැයි, එම නිලධාරියා ප්‍රකාශ කළේ ය. අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පසුගිය වසරේ මැයි මස 09 වනදා වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඒ අනුව එහි පළමු විශේෂ මහාධිකරණය ආරම්භ කෙරුණේ, පසුගිය වසරේ අගෝස්තු මස 21 වන දිනයි. මූල්‍ය අපහරණය සහ විශුද්ධි කරණය මහජන දේපළ අවභාවිතය අල්ලස් ලබා ගැනීම් ඇතුළු පැමිණිලි රාශියක් මෙහිදී විභාගයට ගැනෙනු ඇති.