IMF නියෝජිතයෝ මුදල් ඇමති හමුවෙති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ මුදල් ඇමති හමුවෙති

by Staff writer 19-02-2019 | 8:48 PM
(News 1st) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමු වී තිබේ. ඒ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත අවසන් ණය වාරිකය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. සිලෝන් එෆ්.ටී. පුවත්පත අද වාර්තා කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස මුදල් අමාත්‍යංශයේදී මංගල සමරවීර මහතා හමු වූ බව ය. මෙම හමුවට මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය එස්.එස්. සමරතුංග මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්වූ බව ද එහි සඳහන් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2016දී ශ්‍රී ලංකාවට අනුමත කළ තුන් අවුරුදු ණය වැඩසටහන යටතේ වාරික 04ක් මේ වන විට ශ්‍රී ලංකාවට හිමිව තිබේ. එහි අවසන් වාරිකය පසුගිය නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතව තිබුණත් එය තාවකාලිකව අත්හිටවූයේ ඒ වන විට රට තුළ මතුව තිබූ දේශපාලන අර්බුදය හේතුවෙනි. කෙසේ වෙතත් පසුගිය ජනවාරි මාසයේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට නියෝජිත පිරිසක් ජාත්‍යන්තර කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලගාඩ් මහත්මිය හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ණය වැඩසටහන යළි සක්‍රීය කිරීමට එකඟතාව පළ විය. එහිදී එකඟ වූ කාරණයක් වූයේ මේ සඳහා විමර්ශනයක් වෙනුවෙන් පෙබරවාරි මාසයේ නියෝජිතයින් පිරිසක් මෙරටට එවීමට ය. ඒ අනුව මෙම හමුව ඊයේ සිදුව ඇති බව සිලෝන් එෆ්.ටී. පුවත්පත වාර්තා කළේ ය. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයෙකු වන යුවාන් ෆැබ්ලෝ මහතා උපුටා දක්වමින් ද අයිලන්ඩ් පුවත්පත අද වාර්තා කර තිබුණේ, ලක් රජය දුප්පත් ජනතාව පිළිබඳව අවධානය යොමු නොකරමින් මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාවට නගා ඇති බව ය. එම තීරණය දැඩි ලෙස විවේචනය කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මිල සූත්‍රය ග්‍රාමීය කෘෂි ජනතාව, ධීවරයින් ඇතුළු කාණ්ඩ කිහිපයක දුප්පත් ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත් කරන්නක් බව ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මේ දිනවල මෙරට සංචාරයක නිරත වෙද්දී, ලෝක බැංකුවේ උප සභාපති හාර්ට් විග් ශේපර් මහතා දින 03ක සංචාරයක් නිම කරමින් පසුගිය සිකුරාදා මෙරටින් පිටව ගියේ ය. ඔහු සිය සංචාරය අතරතුර ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මහ බැංකු අධිපති ඇතුළු පිරිසක් ද හමුවී සාකච්ඡා පවත්වා තිබේ. මේ අතර යුරෝපා සංගමය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ශ්‍රී ලංකාව තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීමට තම සංගමය විරෝධය පළ කරන බව ය. ජී.එස්.පී. ප්ලස් සහනය තවදුරටත් ලබා ගැනීමට නම් මානව සහ කම්කරු අයිතිවාසිකම්, පරිසරය සහ යහපාලනය වැනි විෂයන්වලට අදාළ සම්මුතීන් 27කට ගරු කරමින් කටයුතු කරන ලෙස යුරෝපා සංගමය අදාළ නිවේදනයෙන් දන්වා සිටියේ ය.