රුපියල් මිලියන 45 ක තීරු බදු වංචා කළ අයට වැඩ වරදී

රුපියල් මිලියන 45 ක තීරු බදු වංචා කළ පුද්ගලයා රිමාන්ඩ්

by Staff writer 18-02-2019 | 5:31 PM

COLOMBO (News 1st) - රුපියල් මිලියන 57 ක වටිනාකමින් යුතු බීඩි කොළ තොගයක් මෙරටට ගෙන්වා රුපියල් මිලියන 45 ක තීරු බදු ගාස්තු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 25 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 15 වැනි දා සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ කොටුව ප්‍රදේශයේදී ය. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හරිනු ලැබුවත් අද දින දීර්ඝ කරුණු දැක්වීමකින් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. බංගලාදේශයේ සිට ඇඟලුම් ගෙන්වා ඉතාලියට යවන මුවාවෙන් මෙම බීඩි කොළ තොගය මෙරටට ගෙන්වා ඇති අතර අනතුරුව සැකකරු බීඩි කොළ සහිත කන්ටේනරය රේගුවෙන් පිටතට ගෙන ඒමට තැත් කර ඇතැයි රේගු වැඩබලන මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසුවේ ය. එම බදු වංචාවෙන් රජයට සිදු වූ අලාභය රුපියල් මිලියන 40 ට අධිකයි. මෙම පුද්ගලයාට ඇප ලබා දී තිබුණ ද එය ප්‍රමාද දෝෂයකින් සිදු වී ඇති බැවින් එය නිවැරදි කරමින් රේගු ආඥා පනත ප්‍රතිපාදන සැලකිල්ලට ගෙන සැකකරු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන බවත් අතිරේක මහේස්ත්‍රාත්වරිය අද දැනුම් දුන්නා ය.