රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වීමේ සිද්ධියට සැකපිට පොලිස් පරීක්ෂකවරයෙක් අත්අඩංගුවට

by Staff writer 18-02-2019 | 8:38 PM

COLOMBO (News 1st) - ගාල්ල, රත්ගම ප්‍රදේශයේදී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අතුරුදන්වීමේ සිද්ධියට අදාළව පොලිස් පරීක්ෂකවරයෙකු අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මංජුල අසේල හා රෂීන් චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනා අතුරුදන්වී අදට දින 26 ක් ගත වනු ඇත. ඔවුන් පැහැරගැනුනේ මංජුල අසේල නැමැත්තාගේ නිවසේ සිටියදීයි. පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුනු පිරිසක් ගිනි අවි අතැතිව පැමිණ ඔවුන් දෙදෙනා රැගෙන ගිය බව පවුලේ ඥාතීන් දිගින් දිගටම චෝදනා කළේ ය. පසුගිය සතියේ ඔවුන්ගේ නිවෙස් වෙත ලැබී තිබූ නිර්ණාමික ලිපියක සඳහන් වූයේ, දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පිහිටි විශේෂ ඒකකයක් මගින් අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැරගෙන ගිය බවයි. එහිදී එක් ව්‍යාපාරිකයෙකුට පොලීසිය පහරදෙමින් සිටියදී මිය ගිය බවත් එය අනෙක් ව්‍යාපාරිකයා දුටු නිසා ඔහු ද ඝාතනය කළ බවට එම ලිපියේ සඳහන් කර තිබුණි. අදාළ පැහැර ගැනීම සිදු කළ බවට සැකකරන වෑන් රථයක් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් උඩුගම, ගොනාමුල්ල ප්‍රදේශයේදී සොයා ගත්තේ ය. අද ගාල්ලේ සංචාරය කරමින් අප කළ සොයා බැලීමේදී අනාවරය වූයේ, අදාළ ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගැනීමට පැමිණි කණ්ඩායම වෑන් රථයකින් සහ තව ත් කාර් රියකිනි. රත්ගම ප්‍රදේශයට මාර්ග කිහිපයකින් පිවිසිය හැකි අතර එක් පිවිසුම් මාර්ගයක සිවිකර තිබූ CCTV කැමරාවක පැහැර ගැනීමට පැමිණි බවට සැක කරන වෑන් රථය සටහන්වී තිබුණි. නමුත් අදාළ වෑන් රථය නැවත එම මාර්ගයෙන් පිටව ගොස් තිබුනේ නැත. නිර්නාමික ලිපියේ පැහැර ගැනීම සඳහා පැමිණි බවට සඳහන් කර තිබූ වෑන් රථය හා CCTV දර්ශනවල සටහන්ව ඇති වෑන් රථය අතර බොහෝ සමානකම් දැකගත හැකියි. මෙම වෑන් රථයේ හිමිකරු බවට සැක කරන්නේ පස් අනුර නමින් හඳුන්වන එම ප්‍රදේශයේ පදිංචි තව ත් ව්‍යාපාරිකයෙකි. මේ අතර පොලීසිය සමග සමීප සබඳතාවක් ඇති චුට්ටේ නැමති අනුවර්ත නමකින් හඳුන්වන පුද්ලයෙකු පැහැර ගැනීම සිදු වූ දිනයේ උදෑසන ව්‍යාපාරිකයින් රැදී සිටි නිවස අසළ බොහෝ වේලාවක් සිටින ආකාරය ද CCTV කැමරාවල සටහන් විය. ගාල්ල සහකාර පොලිස් අධිකාරී සතිස් ගමගේ මහතා විසින් පසුගිය 05 වන දා මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රකාශ කළත් පසුගිය 14 වන දා අනාවරණයවී තිබුනේ එවැන්නක් සිදු ව නොමැති බවයි. දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා ද පසුගිය දා කොළඹට මාරු කළේ ය. සිද්ධියට අදාළ විමර්ශන මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබේ.