නීතිඥ උදුල් අත්අඩංගුවේ සිටින අමල් පෙරේරා හමුවෙයි

අත්අඩංගුවේ සිටින මධුෂ් ඇතුළු පිරිස පිළිබඳ විමර්ශන CIDයට

by Sagarika Chathumali 17-02-2019 | 6:09 PM
COLOMBO (News 1st) : ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්ව සිටින ප්‍රබල පාතාල කල්ලි සමාජිකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධ විමර්ශන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. ප්‍රබල පතාල කල්ලි සමාජිකයකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස ඩුබායි පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එරට පොලීසියට කරුණු දැක්වීමට හෝ එම පොලිසියේ විමර්ශන සඳහා සහය දැක්වීමට මෙතෙක් කිසිදු රාජ්‍ය නිලධාරියකු හෝ පොලිස් නිලධාරියෙකු ඩුබායි වෙත පිටව ගොස් නොමැත. කෙසේවෙතත්, අවශ්‍ය ඕනෑම මොහොතක ඩුබායි රජය යම් සහයක් ඉල්ලා සිටියහොත් ඒ සඳහා පිටත්ව යාමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු ඇතුළු කණ්ඩායමක් සූදානම් බව ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. එමෙන්ම, මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස සම්බන්ධව මෙරට සිදුකරන විමර්ශන සියල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ඇතැයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. මාකඳුරේ මධුෂ් ඇතුළු ඩුබායිහි අත්අඩංගුවේ පසුවන පාතාල කල්ලි හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පැවැත්වූ මෙරට පාතාල කල්ලි සාමාජිකයන් සොයා පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසී ය. එලෙස සිදුකළ මෙහෙයුම්වලදී , ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයින්ගේ 6 දෙනෙකු අධික පිරිසක් පසුගිය දින කිහිපයේ අත්අඩංගුවට ගැනිණ. මේ අතර ඩුබායි වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා අද පෙරවරුවේ ඩුබායි පොලීසියේදී පළමු වරට ගායන ශිල්පි අමල් පෙරේරා මහතා හමුවිය.