විජය ඝාතනය කර අදට වසර 31ක්

by Staff writer 16-02-2019 | 9:55 PM
COLOMBO (News 1st) - රංගන ශිල්පියෙකු, ගායන ශිල්පියෙකු සහ මානව හිතවාදී දේශපාලනඥයෙකු ලෙස ජනාදරය දිනූ විජය කුමාරතුංග මහතා ඝාතනය කර අදට වසර 31කි. ඔහුගේ ගුණ සැමරීමේ උත්සවයක් අද පැවැත්විණි. 31 වන ගුණ සමරුව වෙනුවෙන් පැවැති සැමරුම් උත්සවයේදී කටුනායක පිහිටි ස්මාරකයට පුෂ්පෝපහාර පුද කෙරිණි. ඒ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙනි. පවුලේ සාමාජිකයින්, හිතවතුන්, දේශපාලනඥයින් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ. කෝවිලගේ ඇන්ටන් විජය කුමාරතුංග 1945 වසරේ ඔක්තෝබර් 9 වන දා උපත ලැබුවේ ජා-ඇළදී ය. 1969 වසරේ හන්තානේ කතාව තුළින් හෙළ සිනමාවට පිවිසුණු ඔහු චිත්‍රපට 114 කට රංගනයෙන් දායක වී තිබේ. විජය කුමාරතුංග මහතා කලාවෙන් ජන හදවත් රස ගැන්වුවා පමණක් නොව, දේශපාලනය තුළින් ද බොහෝ දෙනෙකුගේ ප්‍රසාදය දිනා සිටියේ ය. එල්.ටී.ටී.ඊ. සංවිධානය වරක් 6 වන සිංහ රෙජිමේන්තුවේ සෙබලුන් සිව් දෙනෙකු සිර කර ගෙන සිටි අතර ඔවුන් නිදහස් කර ගැනීමට දායක වූයේ ද විජය කුමාරතුංග මහතායි. දූෂිත දේශපාලනඥයින් නිසා රටේ බොහෝ ක්ෂේත්‍රවලට දැඩි හානි සිදුව ඇති මෙවැනි වකවානුවක විජය කුමාරතුංග මහතා වැනි චරිත සදානුස්මරණීයයි.