මෙරට ආර්ථිකය ක්ෂේත්‍ර කිහිපයකින් පසුගාමී තත්ත්වයක

by Staff writer 16-02-2019 | 9:34 PM
COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්ෂේත්‍ර කිහිපයකින් පසුගාමී තත්ත්වයක් පෙන්නුම් කරන බව ඒ පිළිබඳව නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වේ. විනිමය අනුපාතය අනුව රුපියල නැවත අවප්‍රමාණය වී ඇති අතර එය මේ වන විට පවතින්නේ රුපියල් 178ක් පමණ අගයක ය. එමෙන් ම කොටස් වෙළෙඳපොළ කැපී පෙනෙන පහළ යාමක් ද වාර්තා විය. විශේෂයෙන් අප පවා වරින් වර වාර්තා කළ එම්.ටී.ඩී. වෝකර්ස් සමාගමේ සහ තවත් ආයතන කිහිපයක ක්‍රියාකාරීත්වය මීට බල පා තිබෙන බව පුවත්පත් වාර්තා කරයි. ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවන් තේ වෙළෙඳපොළ ද මේ වන විට පවතින්නේ අර්බුදකාරී තත්ත්වයක ය. රට තුළ සැබෑ ආර්ථික යහපාලනයක් ඇති කිරීමට අවශ්‍ය නම් උවමනා වන්නේ රටක් වශයෙන් ඒ පිළිබඳව වන අවංක කැපවීම පමණක් බව ජාත්‍යන්තර මූල්‍ය වංචා වැළැක්වීමේ ක්‍රියාදාම දෙස බලන විට පැහැදිලි වේ. මැලේසියාවේ වන් එම්.ඩී.බී. නම් රජයේ අරමුදලින් විවිධ අක්‍රමිකතා සහ වංචා සිදු කළ පුද්ගලයෙකු වැඩිදුර පරීක්ෂණ සඳහා අමෙරිකාවට පිටුවහල් කිරීමට දෙරට එකඟ වී තිබේ. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාවට සම්බන්ධ යැයි නම කියවුණු මෙරටින් පළා ගොස් අදටත් විදෙස් රටවල සුව පහසුව දිවි ගෙවන වංචාකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට අප රජය දරා ඇත්තේ කවර උත්සහයක් ද?