මන්නාරම මිනී වළේ කාල නිර්ණ වාර්තාව නිකුත් වෙයි

මන්නාරම මිනී වළේ අමෙරිකානු කාල නිර්ණ වාර්තාව නිකුත් වෙයි

by Staff writer 16-02-2019 | 8:58 AM

COLOMBO (News 1st) - මන්නාරම සමූහ මිනී වළේ කාලය තහවුරු කර ගැනීම සඳහා අමෙරිකාවේ බීටා ඇනලියිසිස් ආයතනයට ලබා දුන් සාම්පලවල වාර්තාව ඊයේ රාත්‍රි ලැබුණු බව කැනීම් සඳහා උපදේශකත්වය ලබා දෙන මන්නාරම රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, කාල නිර්ණය සඳහා ලබාදුන් සම්පල 6 න් 5 ක වාර්තා එලෙස ලැබී ඇති බවයි. එම වාර්තාව ලබන බදාදා මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරන බව ද වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය. පසුගිය මස 25 වැනි දා බීටා ඇනලයිසිස් ආයතනයට අදාළ සාම්පල ලබා දුන්නේ මෙරටින් ගිය කණ්ඩායමක් විසිනි. මේ අතර 146 වැනි දිනටත් සමූහ මිනී වළේ කැනීම් ඊයේ දිනයේ ක්‍රියාත්මක විණි. වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, මේ වනවිට සමූහ මිනී වළෙන් මිනිස් ඇටසැකිලි 323 ක් සොයා ගෙන ඇති බවයි. ඉන් ඇටසැකිලි 314 ක් එම ස්ථානයෙන් ඉවත් කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය. මේ වනවිට සොයා ගෙන ඇති ළමයින්ට අයත් බවට සැකකෙරෙන ඇටසැකිලි සංඛ්‍යාව 28 ක්.