දුගී භාවය පිටුදැකීමේ වැඩපිළිවෙළ ලෝක බැංකුවේ ඇගයීමට

දුගී භාවය පිටුදැකීමේ ජනපති වැඩපිළිවෙළ ලෝක බැංකුවේ ඇගයීමට

by Staff writer 16-02-2019 | 7:13 AM

COLOMBO (News 1st) - දුගී භාවය පිටුදැකීම සඳහා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව අතර දුගී භාවය සාධනීය ලෙස පහළ අගයක් ගනිමින් ඇතැයි ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උපසභාපති ආචාර්ය හාට්වින්ග් ෂාෆර් මහතා පවසයි.

දිවයිනට පැමිණ සිටින ආචාර්ය හාට්වින්ග් ෂාෆර් මහතා ඒ බව පැවසුවේ, ජනාධිපති නිල නිවසේදී ඊයේ පස්වරුවේ ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේදීයි. ශ්‍රී ලංකාව ක්‍රමවත් ලෙස දියුණුව කරා පියමනින රටක් ලෙස ලෝක බැංකුව හඳුනාගෙන තිබෙන බව සඳහන් කළ ඒ මහතා ඒකපුද්ගල ආදායම මේ වන විට ඩොලර් 4000 ක් බවට පත් ව තිබීම ඉතා සතුටුදායක තත්ත්වයක් බව ද පැවසුවේ ය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ග්‍රාමීය වශයෙන් දිළිඳු බව තුරන් කරමින් ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමට ක්‍රියාත්මක කර ඇති විශේෂ ව්‍යාපෘති ඒ සඳහා මහැගි පිටිවහලක් වී තිබෙන බව ඒ මහතා සඳහන් කළ බවයි. මේ අතර ශ්‍රී ලංකාවේ වැව් ප්‍රතිසංස්කරණ සහ පුළුල් වාරිමාර්ග සංවර්ධන වැඩපිළිවෙළක් සඳහා සහාය ලබා දෙන ලෙස ජනාධිපතිතුමා කළ ඉල්ලීමට ද මෙහිදී ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උපසභාපතිවරයා එකඟතාව පළ කර ති‍බේ. වැව් දස දහසක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ වැව් 2400 ක ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට රජය අරඹා ඇතැයි ජනාධිපතිතුමා පවසා ඇත. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, එමෙන්ම දේශගුණික හා කාලගුණික විපර්යාස හේතුවෙන් වන බලපෑම් අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහායට ද ජනාධිපතිතුමා සිය ස්තූතිය පිරිනැමූ බවයි. ජල ගැලීමට ගොදුරුවන ප්‍රදේශවල සිට නිකරුනේ මුහුදට ගලා යන එම ජල කඳ නල මාර්ගයෙන් වියලි කලාපය වෙත රැගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා සහාය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා කල ඉල්ලීම පිළිබඳව ද විශේෂ අවධානය යොමු කළ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උපසභාපතිවරයා එම ඉල්ලීම ඉටුකිරීමේ හැකියාව පිළිබඳව කඩිනමින් සොයා බලන බවට ජනාධිපතිතුමා වෙත සහතික වී තිබේ.