පාතාලේ මධුෂ් ඇතුළු 31දෙනා රක්ෂිත බන්ධනාගාරයට

පාතාලේ මධුෂ් ඇතුළු 31දෙනා රක්ෂිත බන්ධනාගාරයට

by Sagarika Chathumali 15-02-2019 | 11:27 AM
COLOMBO (News 1st) : ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගායන ශිල්පි අමල් පෙරේරා සහ ඔහුගේ පුත් ගායන ශිල්පි නදීමාල් පෙරේරා වෙනුවෙන් කඩිනමින් ඇප අයැදුම්පතක් ඉදිරිපත් කරන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා පවසයි. ඩුබායි සිට නිව්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් ,ඔහු සඳහන් කළේ, ලබන 28 වනදා දක්වා ඔවුන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. ඔවුන්ට එරෙහිව එරට මත්ද්‍රව්‍ය සම්බන්ධ නීතිය යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක බව ද වෙල්ලප්පිලි මහතා පැවසී ය. ඔහු සඳහන් කළේ, අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට එරට පොලීසියේ අවසන් වාර්තාව මෙතෙක් නිකුත් කර නොමැති බවයි. මේ අතර ඩුබායි ආරංචි මාර්ග පැවසුවේ, පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් ඇතුළු අනෙක් සැකකරුවන් 29 දෙනා ද රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවයි. අදාළ පිරිස සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඩුබායි කොන්සර්ජනරාල් කාර්යාලය සහ අබුඩාබිහි පිහිටි තානාපති කාර්යාලය මගින් නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය. පසුගිය 4 වැනිදා රාත්‍රියේ කොකේන් මත්ද්‍රව්‍ය ද සමග මෙම පිරිස තරු පංතියේ හෝටලයකදී අත්අඩංගුවට පත්වුණේ ,එරට පොලීසිය කළ මෙහෙයුමකදීයි.