කළුතර දිස්ත්‍රික්කයේ ඉංගීසි ගුරු හිඟයක්

අතිරික්ත ඉංග්‍රීසි ගුරුවරු වහාම කළුතරට යොමු කරන්නැයි, නියෝග

by Staff writer 15-02-2019 | 7:06 AM
COLOMBO (News 1st) : පළාතේ 457ක ඉංග්‍රීසි ගුරු අතිරික්තයක් පවතින පසුබිමකදී කළුතර දිස්ත්‍රික්කයේ ඉංග්‍රීසි ගුරු හිඟය ක් පවතින බව වාර්තා වේ. පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව කළුතර දිස්ත්‍රික්කයේ පමණක් ඉංග්‍රීසි ගුරුවරුන් 140 ක හිඟයක් පවති. දෙමව්පියන් පවසන්නේ, පළමුවැනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි ඉගැන්වීම සඳහා පෙළ පොත් පවා නිකුත් කර තිබීයදී ළමයින්ට අධ්‍යාපනය ලබා දීමට ගුරුවරුන් නොමැති බවයි. මේ අතර ගුරු සංගම් චෝදනා කරන්නේ පළාත තුළ ගුරුවරුන් බෙදීයාමේ නිසි තුළනයක් නොමැති වීම මෙම ගැටලුවට ප්‍රධාන හේතුව බවයි. විවිධ දේශපාලන අතපෙවීම් හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බව ලංකා ගුරු සගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලිං මහතා සඳහන් කළේ ය. මේ පිළිබඳව කළ විමසීමකදී බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පැවසුවේ, පසුගිය පාලන සමය තුළ ගත් ඇතැම් තීරණ හේතුවෙන් මෙලෙස ඉංග්‍රිසි ගුරු හිඟයක් හටගෙන ඇති බවයි. ඊට විසඳුමක් ලෙස ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට අවසර ඉල්ලා ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මේ අතර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ප්‍රකාශ කළේ, පළාතේ සියලු අතිරික්ත ගුරුවරුන් පුරප්පාඩු පවතින පාසල් වෙත වහා ම යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් බවයි.