මරදානේ ජීප් රථයක කේරල ගංජා කිලෝ 68 හමුවෙයි

‍මරදානේ මගී ගුවන් පාලමේ ගැටුණු ජීප් රථයකින් කේරල ගංජා තොගයක් මතුවෙයි...

by Staff writer 14-02-2019 | 11:28 AM

COLOMBO (News 1st) - කේරල ගංජා සමග මරදාන මගී ගුවන් පාලම ආසන්නයේදී අනතුරකට ලක් වූ ජීප් රථයේ හිමිකාරියගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ ජීප් රථයේ හිමිකාරිය මැදපෙරදිග සේවය කරන බවට තොරතුරු ලැබී ඇති බවයි. ඇයට අයත් මෙම වාහනය කුලී පදනම මත බම්බලපිටිය හෝටලයකට ලබා දී ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත. අදාළ වාහනයේ හිමිකාරිණිය විදෙස් ගතව ඇති බැවින්, එහි භාරකරු ලෙස කටයුතු කරන්නේ අත්අඩංගුවට ගත් පුද්ගලයායි. පොලීසිය ප්‍රකාශ කළේ, කුලී පදනම මත අදාළ ජීප් රථය ලබා ගෙන ඇති පුද්ගලයින් එය කේරල ගංජා ප්‍රවාහනය සඳහා යොදාගෙන ඇති බවට සැකකරන බවයි. සිද්ධිය සම්බන්ධයෙන්, විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වේ. අද අලුයම මරදාන මගී ගුවන් පාලමේ ගැටුණු ජීප් රථයේ තිබී සොයාගත් කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 68 කට අධිකයි. එම කේරල ගංජා තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීමට නියමිත බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලීසිය පැවසුවේ, සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ආරක්ෂිත කැමරා දර්ශන උපයෝගී කර ගනිමින් ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බවයි.