හොර පාරෙන් කරළියට එන මාධ්‍ය මර්දන වැඩපිළිවෙළ

හොර පාරෙන් කරළියට එන මාධ්‍ය මර්දන වැඩපිළිවෙළ

by Staff writer 14-02-2019 | 9:05 PM
COLOMBO (News 1st) : මාධ්‍ය පාලනය කිරීමට දේශපාලන අධිකාරිය දරණ උත්සාහය අත්හැර ඇති බවක් තවමත් පෙනෙන්නට නොමැත. 2017 ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනත නමින් ලියවිල්ලක් සකස්කර මාධ්‍ය පාලනය නීතිගත කිරීමට උත්සාහ කළ කණ්ඩායම එය වෙනස් මුහුණුවරකින් ඉටුකර ගැනීමට උත්සාහ දරමින් සිටී. රාජ්‍ය මාධ්‍ය, මහජන සේවා මාධ්‍ය ආයතන බවට පත්කිරීමට යැයි පවසමින් පසුගිය ජනවාරි 31 වනදා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කමිටුවක් පත් කළේ ය. මෙම කමිටුවට සාමාජිකයින් පත්කරමින් මංගල සමරවීර ඇමතිවරයා දැනුම් දී තිබුණේ, පෞද්ගලික මාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමට පෙර රාජ්‍ය මාධ්‍ය ආයතන සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත්කළ යුතු බවයි. විජයානන්ද ජයවීර මහතා මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ආචාර්ය ප්‍රදීප් වීරසිංහ, නාලක ගුනවර්ධන, කෞෂල්‍යා ප්‍රනාන්දු, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, අනෝමා රාජකරුණානායක සහ නීතිඥ සුදර්ශන ගුනවර්ධන මංගල සමරවීර අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ සෙසු සාමාජිකයින් ය. මංගල සමරවීර මහතා ජනමාධ්‍ය විෂයය භාර ඇමතිවරයා ලෙස පත්වීමෙන් පසුව ජනමාධ්‍ය ප්‍රතිව්‍යුහගත කරණය සඳහා වන ජාතික ලේකම් කාර්යාලය නමින් රාජ්‍ය නොවන සංවිධානයක් ආරම්භ කෙරිණ. ජනමාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට දඩ ගැසීමටත් දඩුවම් දීමටත් හැකි නීති ඇතුළත් කළ යුතු බවට යෝජනා කරමින් ස්වාධීන මණ්ඩල පනත නමැති ලියවිල්ල සකස්කලේ මේ රාජ්‍ය නොවන සංවිධානයයි. රාජ්‍ය මාධ්‍ය ගැන සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපති විජයානන්ද ජයවීර මහතා මේ රාජ්‍ය නොවන සංවිධානය මුල් වූ ලියවිල්ල සකස් කළ පුද්ගලයායි. ආචාර්ය ප්‍රදීප් වීරසිංහ සහ නාලක ගුණවර්ධන නමැති පුද්ගයින් දෙදෙනාද මෙම රාජ්‍ය නොවන සංවිධානයේ ඉදිරි පෙළ ක්‍රියාකාරීන් ලෙස කටයුතු කරයි. මේ රාජ්‍ය නොවන සංවිධානය හුදෙකලාව කටයුතු නොකරන අතර ඔවුන් ක්‍රියා කරන්නේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය කිහිපයක් ද හවුල්කරුවන් ලෙස සම්බන්ධ කර ගනිමිනි. පසුගියදා මාධ්‍ය ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව බලපෑම් කරමින් මාධ්‍ය ආයතන ඉදිරිපිට මුහුණු වසාගෙන තර්ජන කළ එන්.ජී.ඕ. කණ්ඩායමේ ඉදිරියෙන්ම සිටි කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මියද මංගල සමරවීර මහතා රාජ්‍ය මාධ්‍ය ගැන සෙවීමට පත්කළ කමිටුවට ඇතුළත් ය. මෙම කණ්ඩායම මෙහෙවන්නේ එන්.ජී.ඕ. ඩොලර් කාක්කන් බව අප එදා කළ අනාවරණය අද තහවුරුවී ඇති අතර ඔවුන් පිටුපස සිටින්නේ කවුරුන් ද යන්නත් දැන් හෙළි වෙමින් තිබේ. මාධ්‍ය මර්දනයට යෝජනා ඇතුළත් කරමින් සකස් කළ ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව පිළිබඳ ස්වාධීන මණ්ඩල පනතට බලවත් විරෝධය මතුවෙද්දී දැන් වෙනත් මුහුණුවරකින් එහි ඇතුළත් කරුණු නීතිගත කිරීමට මේ කල්ලිය උත්සාහ දරමින් සිටී. මාධ්‍ය ආයතන ඉදිරිපිට මුහුණු වසාගන සිදුකළ තර්ජන, රජ්‍ය මාධ්‍ය ගැන සෙවීමට පත්කරන කමිටු හුදෙකලා සිදුවීම් නොවන අතර මේවා සංවිධානාත්මක ක්‍රියාවළියකට සම්බන්ධ සැලසුම් සහගත ක්‍රියාමාර්ගයි. මේවා පිටුපස මහා පරිමාණ ඩොලර් ගනුදෙනු සිදුවනවා ද ? ඒවාට සම්බන්ධ වූවන්ට වෙනත් ප්‍රතිලාභ ලැබෙනවා ද ? රංග කලන්සූරිය නමැත්තා කලක් කරළියට පැමිණ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පෙනී සිටිමින් විවිධ උපාය යොදා මාධ්‍ය මර්දනයට උත්සාහ කළ අතර එය එම අවස්ථාවේ අසාර්ථකවිය. පසුව තනතුරින් ඉවත්වූ බවක් පෙන්වීමට උත්සාහ කළ ද ඔහු තිරෙන් පිටුපසටවී විවිධ මුහුණුවරින් අරමුණ ඉටු කරගැනීමට උත්සාහ දරමින් සිටී. මේ සියල්ල අවසානයේ මොවුන් වෑයම් කරමින් සිටින්නේ දූෂණයට වංචාවට එරෙහිව හඬ නගන මාධ්‍ය නිහඬ කිරීම හෝ අවනත කර ගැනීමටයි. බලයට පත්ව සති කිහිපයක් යන්නටත් පෙර මහ බැංකුව කොල්ලකෑ මේ කල්ලිය වසරක් ගතවෙද්දී යළි ත් මහබැංකුව කොල්ල කෑවේ ජනතාව ගැන කිසිදු හැඟීමකින් තොරවයි. රටේ වැඩකරන ජනතාවට ඇති එකම අරමුදල වූ සේවක අර්ථ සාධක අරමුදලද එමගින් කොල්ල කෑ මේ කල්ලිය අවුරුදු 30 ක් පුරා රටේ ජනතාවට දුක් විදින්නට අවස්ථාව සලසා තිබේ. බැඳුම්කර හොරුන්ට ඉදිරි මැතිවරණයකදී මුහුණදීමට ඇති ප්‍රබලතම අභියෝගය මේ හොරකම් හෙළිකරන මාධ්‍යයි. විවිධ මුහුණුවරින් මාධ්‍ය මර්දනය කරන්නට මේ කල්ලිය උත්සාහ කරන්නේ හොරකම් වසන් කර ගැනීමට ද? https://www.youtube.com/watch?v=W5KBYYikPgw