විදුලි සෝපානය අක්‍රීයවීමට හේතුව කාර්මික දෝෂයක් ?

හදිසියේ වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අක්‍රීය වී ඇතැයි හෙළිවෙයි

by Staff writer 14-02-2019 | 7:39 AM

COLOMBO (News 1st) - හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය අක්‍රීය වී ඇති බවට මේ වන විට තහවුරු වී ඇතැයි පාර්ලිමේන්තු පාලනාධිකාරිය පවසයි.

පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ, විදුලි සෝපානවල තත්ත්වය පිළිබඳ සොයා බලන විදුලි සෝපාන සවිකළ පුද්ගලික සමාගමේ නිලධාරීන් ඒ බව තහවුරු කළ බවයි. මගී ධාරිතාව ඉක්මවා යාම සමග ඇති වූ දෝෂයක් හේතුවෙන් එම විදුලි සෝපානය හදිසියේ අක්‍රීය වී ඇති බව මේ වන විට තහවුරු වී ඇතැයි ද පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවසුවේ ය. ඔහු සඳහන් කළේ, පවතින තත්ත්වය හමුවේ දැනට ක්‍රියාත්මක විදුලි සෝපාන වෙනුවට නව විදුලි සෝපාන සවි කළ යුතු බවට ද අදාළ සමාගමේ නිලධාරීන් දැනුම් දුන් බවය. පාර්ලිමේන්තුවේ දැනට ඇති විදුලි සෝපාන වසර 36 කට අධික කාලයක් පැරණි ඒවා බව ලේකම්වරයා ප්‍රකාශ කළේ ය. ධම්මික දසනායක මහතා සඳහන් කළේ, නව විදුලි සෝපාන සවි කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇති බවයි. එම අනුමැතිය ලද විගස අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරන බව ද ඔහු පැවසුවේ ය. මේ අතර ඊයේ භාරදීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විදුලි සෝපානවල තත්ත්ව පරීක්ෂණ වාර්තාව අද කථාතනාකවරයා වෙත භාරදීමට නියමිතව තිබේ. පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, එම වාර්තාවේ අතුරු වාර්තාවක් පමණක් ඊයේ භාරදුන් බවයි. ඒ අනුව විදුලි සෝපාන සම්බන්ධයෙන් කළ සම්පුර්ණ පරීක්ෂණයේ වාර්තාව අද නිකුත්වීමට නියමිතයි. මේ වන විට පාර්ලිමේන්තුවේ සවිකර ඇති විදුලි සෝපාන සංඛ්‍යාව 10 ක්. ඉන් දෙකක් මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන්කර තිබේ. පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ඉන් එක් විදුලි සෝපානයක සිරවීමත් සමග එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ගැටලුවක් හටගත්තේ ය. මේ අතර ආරක්ෂිත පියවරක් ලෙස මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන්කර ඇති විදුලි සෝපානවල වරකට 6 දෙනෙකු පමණක් ගමන් ගන්නා ලෙසට දැනුම්දීමට හා විදුලි සෝපාන ක්‍රියාකරුවෙකු ඒ සඳහා යෙදවීමට ද පසුගිය දා පාර්ලිමේන්තු පාලනාධිකාරිය තීරණය කළේ ය.