රීයුනියන් දූපත් වෙත ගිය ශ්‍රී ලාංකිකයින් දිවයිනට

රීයුනියන් දූපත් වෙත සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් යළි දිවයිනට

by Staff writer 14-02-2019 | 7:07 AM

COLOMBO (News 1st) - නීති විරෝධිව ප්‍රංශයට අයත් රීයුනියන් දුපතට ගොස් එරට ආරක්ෂක අංශ භාරයට පත් ශ්‍රී ලාංකිකයින් 70 දෙනා අද මෙරටට යළි හරවා එවීමට ප්‍රංශ බලධාරීන් පියවර ගෙන තිබේ.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර විමර්ශන අධ්‍යක්ෂ ජනක රත්නායක මහතා සඳහන් කළේ, එම සංක්‍රමණිකයින් පිරිස රැගත් ගුවන් යානය අද පෙරවරුවේ මෙරටට ළඟාවීමට නියමිතව ඇති බවයි. ප්‍රංශයට අයත් ගුවන් යානයකින් එම පිරිස මෙරටට එවන බවට දැනුම් දී ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. ඉකුත් ජනවාරි 9 වැනි දා මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය යාත්‍රාවක් අතුරුදන්ව ඇති බවට ධීවර යාත්‍රාවේ හිමිකරු ඉකුත් ජනවාරි 26 වන දා මීගමුව පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. එලෙස අතුරුදන්ව තිබුනේ 'වේ ප්‍රශංසා' නැමැති බහු දින ධීවර යාත්‍රාවයි. පැමිණිල්ල අනුව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කළ පුද්ගලයා රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 10 දක්වා මුදලක් අයකර ගනිමින් පුද්ගලයින් 70 දෙනෙකු ප්‍රංශයට අයත් රීයුනියන් දුපත වෙත ගෙන ගොස් ඇති බවයි. අදාළ පිරිස රීයුනියෙන් දුපත වෙත ළඟා වී තිබුනේ පෙබරවාරි 05 වැනි දාය. මේ අතර පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයින් 160 දෙනෙකු ප්‍රංශයට අයත් රීයුනියන් දූපත් වෙත සංක්‍රමණය වී තිබේ. ධීවර දෙපාර්තමේන්තුව පැවසුවේ, එම පිරිස් අතුරින් 14 කට අධික පිරිසක් යළි මෙරටට හරවා ඒවා ඇති බවයි. සංවිධානාත්මක කල්ලියක් විසින් මෙම මිනිස් ජාවාරම සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.