එල්ලුම් ගස සඳහා නව කඹයක් ලබා ගැනීමට පියවර

එල්ලුම් ගස සඳහා නව කඹයක් ලබා ගැනීමට පියවර

by Staff writer 14-02-2019 | 7:22 AM

COLOMBO (News 1st) - එල්ලුම් ගස සඳහා විදෙස් රටකින් නව කඹයක් ලබා ගැනීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට පවතින කඹය ඒ සඳහා සුදුසු නොවන බව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය මීට පෙර කළ දැනුම්දීමක් අනුව මෙම පියවර ගත් බවයි. ඒ අනුව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කඹය සිංගප්පුරුව, මැලේසියාව, පකිස්ථානය, බංගලාදේශය සහ ඉන්දියාව යන රටවලින් ගෙන්වීමට අවශ්‍ය කටයුතු කරන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දී ඇති බව ද බන්ධනාගාර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙක් ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, මීට පෙර මෙරටට ලැබී ඇති කඹය ද පරිත්‍යාගයක් ලෙස ලැබී ඇති බවයි. මෙරට දැනට පවතින කඹය 2015 වසරේ පකිස්ථානයෙන් මෙරටට ලැබී ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේ ය. මේ අතර අලුගෝසු තනතුරට දෙදෙනෙකු බඳවා ගැනීම සඳහා අයැදුම්පත් භාර ගැනීම පසුගිය සඳුදා ආරම්භ කෙරිණි. අයැදුම්පත් කැඳවීම ලබන 25 වන දායි අවසන්වීමට නියමිත වේ. මේ අතර එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමට අදාළ වෙනත් උපකරණ ලබා ගැනීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මරණ දඬුවම නියම වි සිටින දරුණු ගණයේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ගන්නා ක්‍රියාමාර්ගවලට පහසුකම් සැලසීම මෙහි අරමුණ බවයි. මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැඳවියන්ගේ නම් ලැයිස්තුව ජනවාරි 25 වන දා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දෙනු ලැබුවේ ය. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේ, නීතිපතිවරයාගේ නිර්දේශය සහිතව එම ලැයිස්තුව භාරදුන් බවයි. එම ලැයිස්තුවට අනුව මරණ දඬුවම නියම වී ඇති රැඳවියන් සංඛ්‍යාව 17 කි. ශ්‍රී ලංකාව තුළ අවසන් වරට මරණ දඬුවම ක්‍රියාත්මක වී ඇත්තේ 1976 වසරේ ය. ඒ, වැලිකඩ බන්ධනාගාරයේදී යි. එහිදී චන්ද්‍රදාස නැමැත්තෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.