අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව අද යි

අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අද ජනපති ප්‍රධානත්වයෙන්

by Staff writer 14-02-2019 | 6:34 AM

COLOMBO (News 1st) - පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන මගින් සංවිධානය කරන අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ පරිසර සමුළුව අද පැවැත්වීමට නියමිතවේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. පරිසර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම සමුළුවේදී දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදී සිටින පරිසර ගැටලු පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණදෙන වන අලි ගැටලුව සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති. මේ අතර මෙරට ප්‍රධාන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති කසළ කළමනාකරණය ජල ප්‍රභවයන් ආරක්ෂා කර ගැනීම වන සංරක්ෂණය යන කරුණු පිළිබඳව ද පුළුල් අවධානයක් මෙහිදී යොමු කිරීමට නියමිත වේ. පරිසර අමාත්‍යාංශය තමා යටතට පවරාගැනීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතියට හඳුන්වාදුන් පුළුල් වූ පරිසර සංරක්ෂණ ජාතික වැඩපිළිවෙළ වන්නේ නීල - හරිත යුගයක් අනාගත ශ්‍රී ලංකාවේ බිහි කරලීම උදෙසා වන ක්‍රියාදාමයයි. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සියල්ලම ඒකාබද්ධ කර ගනිමින් මෙම පුළුල් වැඩසටහන මේ වන විට ශක්තිමත්ව ක්‍රියාවට නංවා ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට පළතුරු පැළ බෙදාදීම සහ පළතුරු වගා ව්‍යාපෘති සඳහා මූල්‍යාධාර ලබාදීම දිස්ත්‍රික්කයේ මී පැළ දහසක් සිටුවීමේ ව්‍යාපෘතියකට මූල්‍යාධාර ලබාදීම, පූජා නගරයේ අවිධිමත් කසළ කළමනාකරණය වැළැක්වීමේ නව ව්‍යාපෘතියකට ප්‍රතිපාදන ලබාදීම ඇතුළු වැඩසටහන් රැසක් අද ජනාධිපතිතුමාගේ ප්‍රධනත්වයෙන් සිදු කිරීමට නියමිතව වේ.