විග්නේශ්වරන්ගේ විරෝධතා අභියාචනාධිකරණය ඉවතදමයි

විග්නේශ්වරන්ගේ විරෝධතා අභියාචනාධිකරණය ඉවතදමයි

by Staff writer 13-02-2019 | 1:09 PM
COLOMBO (News 1st) : අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු තිදෙනෙකු ගොනු කළ මූලික විරෝධතා අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය. ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරුවරුන් එහිදී නියෝග කළේ උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන්, ආනන්දි සසිදරන් සහ කේ. සිවනේශන් යන අයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යාමටයි. ඒ අනුව අධිකරණයට අපහාස කිරීම යටතේ කටයුතු කිරීමට අභියාචනාධිකරණයට බලයක් ඇති ඇතැයි ද විනිසුරුවරු අවධාරණය කළහ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ කටයුතු කිරීමට අභියාචනාධිකරණයට බලයක් නැතැයි පවසමින් විග්නේශ්වරන් මහතා ඇතුළු තිදෙනා විසින් මීට පෙර මූලික විරොධතා ඉදිරිපත් කර තිබිණ. විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය අදාළ නඩු කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර ඇති බැවින් නව විනිසුරු මඩුල්ලක් තීරණය කිරීම සඳහා නඩුව පෙබරවාරි 15 දා කැඳවීමට නියමිතයි. උතුරු පළාත් සභාවේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ බි. ඩෙනීෂ්වරන් මහතා හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව අදාළ නඩුව ගොනු කළේ ය. ඒ උතුරු පළාත් සභාවේ ධීවර හා ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බී. ඩෙනීෂ්වරන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහත ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බවට වන පැමිණිල්ලකට අනුවයි.