මාස 8කට පසු SSC රථ ගාලට ආ සුඛෝපභෝගී වාහනය කාගේ ද?

by Staff writer 13-02-2019 | 10:03 PM
COLOMBO (News 1st) - පසුගිය වසරේ ජුනි මස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙන් වූ සුඛෝපභෝගී රථයක් මාස 8කට පමණ පසුව එස්.එස්.සී රථ ගාලට ගෙනවිත් තිබෙන බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් වෙනුවෙන් මිලදී ගත් සුඛෝපභෝගී ජිප් රථ කිහිපයක් පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ ගාල් කර තිබිණි. පසුගිය පරිපාලනය සමයේ මෙවැනි සුඛෝපභෝගී ජිප් රථ 08ක් මිලදී ගැනීමට අනුමැතිය හිමිව තිබූ අතර, ඒ අනුව මිලදී ගත් වාහන අතර මෙතෙක් දක්නට නොලැබුණු ජීප් රථයක් ඊයේ එස්.එස්.සී රථ ගාලට ගෙනවිත් ඇතැයි ස්පෝර්ට්ස් ෆස්ට් වෙත වාර්තා විය. ඒ අනුව අප කළ සොයා බැලීමේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ පිටුපස පිවිසුම් දොරටුවෙන් එස්.එස්.සී. රථ ගාලට ඇතුළු වන ස්ථානයේ අදාළ සුඛෝපභෝගී ජීප් රථය නවතා තිබිණි. මෙතෙක් කල් මෙම ජීප් රථය භාවිත කළේ කවුරුන් ද යන්න පිළිබඳව නිසි තොරතුරු වාර්තා නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ය.