පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

පොලිස් නිලධාරියෙකුට පහර දීම සම්බන්ධයෙන් අධිකරණයට භාර වූ මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

by Staff writer 13-02-2019 | 4:20 PM
COLOMBO (News 1st) - පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා අද ඇප මත මුදා හැරිණි. ඒ, ඔහු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වීමෙන් අනතුරුව ය. එහිදී රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප සහ රුපියල් 10,000ක මුදල් ඇප මත ඔහු මුදා හරින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය. ඊට අමතරව සෑම සතියකම ඉරු දින බණ්ඩාරවෙල පොලීසියට පැමිණෙන ලෙස ද චමින්ද විජේසිරි මහතාට නියෝග කර තිබේ. ඔහුගේ ආරක්ෂක නිලධාරියා ද රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප සහ රුපියල් 10,000ක මුදල් ඇප මත මුදා හරින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම ඉරු දිනකම බණ්ඩාරවෙල පොලීසියේ පෙනී සිටින ලෙස ද නියෝග කළේ ය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ රියැදුරු අතර ගැටුමක් ඇති වූයේ පසුගිය ඉරිදායි. එහිදී තුවාල ලැබූ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් කොස්තාපල්වරයෙකු බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කෙරිණි. තමාට ද පහර දීමක් සිදු වූ බව පවසමින් චමින්ද විජේසිරි මහතාගේ රියැදුරු ද දියතලාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා අත්අඩංගුවට ගත්තේ ය.