පළාත් සභා මැතිවරණය ගැන සති 2ක් තුළ තීන්දුවක්

පළාත් සභා මැතිවරණය ගැන තීන්දුවක් ගැනීමට පක්ෂ නායක රැස්වීමක්

by Staff writer 13-02-2019 | 8:51 PM
COLOMBO (News 1st) - සියලු පළාත් සභාවල මැතිවරණය මැයි මස 31 වන දාට පෙර පැවැත්වීමට ජනාධිපතිතුමා කළ යෝජනාව පිළිබඳව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් පවත්වා තීන්දුවක් ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. සති දෙකක් ඇතුළත එම රැස්වීම කැඳවීමට නියමිත ය. ජනාධිපතිතුමා මීට දෙසතියකට පෙර සියලු පළාත් සභාවල මැතිවරණය ලබන මැයි මස 31 වන දාට පෙර මනාප ඡන්ද ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට යෝජනා කරමින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ ය. ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිතුමා කළ යෝජනාව පිළිබඳව විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිය නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ. පළාත් සභා සියල්ලේම මැතිවරණ එකම දිනයකදී පවත්වන්නේ නම් දැනට නිල කාලය අවසන් වී නොමැති පළාත් සභා විසුරුවා හැරීමට මහ ඇමැතිවරුන්ගේ කැමැත්ත ගැනීමට ලිපි ලබා ගත යුතු බවත් පැවැති ක්‍රමයට මැතිවරණය පැවැත්වීම සඳහා පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කළ යුතු බවත් අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිය නිරීක්ෂණ මගින් පෙන්වා ඇතැයි සඳහන් ය.